Monday, December 26, 2016

ඈ යන්න ගියා.......

ඈ යන්න ගියා......
මොනා කියන්නද
මොනා ලියන්නද.....
හිටිහැටියෙම
සුළඟ වගේ හීතල වෙච්චි හදවතත්
ගස් වැල් වගේ එහෙ මෙහෙ සෙලවෙන වචන ටිකත්
කුරුල්ලන් වගේ නිදහසේ පියාඹන සිතුවිලිත් අරන්
ඒ විතරක් නෙමෙයි......
අමාරුවෙන්ම
හොයාගත්ත මගේ....
කවිකාර හිතත් අරන්
මට හොරෙන්ම
ඈ යන්න ගියා........
ඔව්,
ඈ යන්න ගියා.......

Sunday, December 18, 2016

සඳ දිය සේල සිතුවම් බොඳ කරද්දී..............


සඳ දිය සේල සිතුවම් බොඳ කරද්දී
ඉඳගෙන වටේ තරු තනිකම මකද්දී
විඳ විඳ වළාකුළු දුක් ගී ගයද්දී
හදවත රිදෙයි ඔයාව සිහි කරද්දී

හුළං සැරට එහෙ මෙහෙ දුව පනිද්දී
වහං වෙන්න බෑ සුවඳක් දැනෙද්දී
පතං ආව ආදරෙ කටු ඇනෙද්දී
බලං ඉන්න බෑ විරහව දැනෙද්දී

නැහැවෙන සීත උඳුවප් මහ ලබද්දී
ඇහැ පිං කෙරුවෙ ඔයාගෙ රුව දකිද්දී
බැහැ සැනසෙන්න ඒ මතකය මැවෙද්දී
ඇහැ රතුවෙනව මේ හීතල දැනෙද්දී

හඳක සිරිය උඳුවප් මහ දිළෙද්දී
මතක මැවෙයි මළබෙර හඬ ඇහෙද්දී
දිනක ඉපිද හැකිනම් සැරිසරද්දී
ළඟක ඉඳින් මගෙ හදවත හඬද්දී...........

Monday, December 5, 2016

පොවා උන්ට වස මැරෙන්නට මට හිතුණෙ නැතිවිට නිදහසක්........

පාට නැති මල් ඔහේ පැද්දෙයි දකින්නට හොඳ සිහිනයක්
කාට තිබුණත් කෝ එවන් පින ලබා ගන්නට නෑ ඉඩක්
රෑට සුසුමන් දකින සුරපුර ඉසුරුමත් වූ ජීවයක්
තීට සුභවෙයි නුදුරු දිනයක නැකත්කරු කීවා දිනක්

පියා නැති පොඩි එවුන් මහගෙයි බිත්ති අතරට හිර කරන්
ගියා නොව සිදුවුණා යන්නට පපුව එදවස ගිණි අරන්
නොයා ඉන්න හිත බල කරත් දිවි ගමන රැදුණේ දුක අරන්
සොයා ගියමුත් කාසි රැදුණේ කතරෙ අපා දුක හැම දරන්

දිවා උදයේ රැයේ හෝ නැත ලබන්නට පොඩි නිදහසක්
දවා රිදවයි යකඩ රත්කර වැරදි ගැන නෑ අදහසක්
ගෙවා නොතිබුණු වැටුප වෙනුවට කෑගසයි ගෙන උදහසක්
පොවා උන්ට වස මැරෙන්නට මට හිතුණෙ නැතිවිට නිදහසක්

ඇඟේ දිරි නෑ වැටුපකුත් නෑ හාම්පුතු රකුසකු වැනී
උගේ දොලදුක නොනිව් ළඳකගෙ ගෙලට කඹයක් පැටලුණී
මගේ හිතවත් සොයුරියන් තව කතරෙ දුක් ගිණි විඳ ගණී
අගේ මගෙ රට එපා කතරට යන්න නරකාදිය වැනී............

Tuesday, November 15, 2016

ලා දම් පාට මල් හිනැහෙන රොබරොසියා...........

ලා දම් පාට මල් හිනැහෙන රොබරොසියා
මල් පාවඩ දිගේ හෙමිහිට අඩිය තියා
ඉමක් නිමක් නොපෙනෙන ජීවිතය සොයා
ඔබත් මමත් නිරතුරු මෙහි ආව ගියා

දෙනෝදහක් දෙන ගැවසෙන නුවර පුරා
නිසසල බිඳී පාවෙයි ඝෝෂාව දරා
රොබරොසියා තුරු ගොමුවේ දවස පුරා
දොඩමළු වුණා අපගේ හිත් ලොවට හොරා

ආදර ඔබේ සුසුමන් දෙව් ලොව වැඩියා
දුටුව සිහින කඳුළු බිඳෙන් බොඳව ගියා
නිරතුරු අප දෙදෙන හමුවූ රොබරොසියා
මලේ සුවඳ මට දී ඔබ යන්න ගියා........

Monday, November 7, 2016

කැති ගැති ඇමති සති නැති වෙති නිති මැරෙතී..........




යති එති බුරති ගැති නැති මැති පැති         පනිතී
කති බොති නිදති කිති නැති වෙති රති      විඳතී
තුති දෙති රවති නැති බැති ගති නිති          පුදතී
කැති ගැති ඇමති සති නැති වෙති නිති  මැරෙතී




Monday, October 31, 2016

දැන්වත් මට කියා දෙන්න උඹෙ සතුටට කරුණක්........

සුදු හාමිනෙ මේ බලන්න මගේ දිහා චුට්ටක්
මේ චීත්තෙ ඔයාටමයි ඒකෙ නැහැනෙ බොරුවක්
තිබහ යන්න තිබුණෝතින් උණු උණු තේ උගුරක්
ලැබෙයි නේද හාමිනෙ අද ඇයි මෙතරම් සතුටක්

මගේ හිතේ පිරී ඇත්තෙ ලස්සන මල් උයනක්
එහි පිපෙනා තනි වූ මල ඔව් ඔව් උඹ පමණක්
උකුළු මුකුළු නොකර ඉතින් තවත් නොගෙන වරුවක්
කියන් නෝනෙ කාරණාව එය මට රස රහසක්

හෙට උදයේ අපි දෙන්නා යමු විනෝද ගමනක්
අම්ම අප්ප හමුවීලා සොයා බලමු සුව දුක්
අතරමඟදි බටලීයෙන් අරගමු කජු අහුරක්
දැන්වත් මට කියා දෙන්න උඹෙ සතුටට කරුණක්

සුදු හාමිනේ : මේ.. මේ... අපි දෙන්නට නැළවිලි ගී පුරුදු වෙන්න වෙයි කියලා මට හිතෙනවා සිතුවිල්ලක්........



- - - දුමින්ද අබේසේකර - - - -




Tuesday, October 25, 2016

' ගෙවතු වගාව '


' ගෙවතු වගාව ' කියන්නේ වර්තමානයේ බොහෝ දෙනා අතර කථාබහ වෙන මාතෘකාවක්. දැඩි නියං කාලයේ මෙන්ම දැඩි වර්ෂා කාලයේදීද මේ පිළිබඳව වැඩිපුර කථා වෙන්නේ එළවළුවල ඉහළ යන මිල නිසාමයි. ඉතින් නරකද ගෙවත්තේ පොඩියට වගාවක් කෙරුවනම්.

ඉන්

* වසවිස නැති පිරිසිඳු නැවුම් එළවළු ටිකක් ගන්න හැකිවෙනවා.
* හිතට නිදහසක් දැනෙනවා
* පොඩි ප්‍රමාණයක මුදලකුත් ඉතිරිවෙනවා
* කන්න ආසා නොකරන එළවළුවක් වුණත් අස්වැන්න කැඩුවාම කන්න හිතෙනවා.
* හිදිසියේ ගෙදර මිරිස්, කරපිංචා එහෙම ඉවරවුණාම කඩේට දුවන්න වෙන්නෙත් නැහැනේ.

ඔය හේතු හින්දම මටත් හිතුණා පොඩි ගෙවතු වගාවක් කරන්න. වැස්ස අඩු නිසා මෙදා පාර තවම වැඩේට බැස්සේ නැහැ. ඒත් මේ වසරේ මුලදී මගේ ගෙවතු වගාවේ ගත්ත පින්තූර ටිකක් තමයි පහළ තියෙන්නේ.  

 
  

 














Wednesday, October 19, 2016

හෙට ලොව ජය ගනින් මම නුඹ ළඟයි පුතේ........

තරු මල් නීල දඟකම් පෑ පුතුගෙ     නෙතූ
විරුවෙකු මතකෙ ඇවිදියි පෙර දුකක තතූ
සරු වූ ගැබට වැඩිදා සිට මගේ          පුතූ
හිරු ළංවුණේ වෙන සඳකට තරුද      සතූ

වෙනතක බැඳී සිටි දෙදෙනෙකු ළං   කරමින්
දෙසිතක සතුට රන් මුදුවෙන් වෙන්   කරමින්
කතරක දැවී සිටියදි නෙතු තුටු          කරමින්
අඳුරක වැඩියෙ පුතු මගෙ ලොව එළි කරමින්

මට උඹ රජෙකි තනි වූ ලොව දුකක්   නැතේ
පිට පිට නැගෙන බාධක බිඳ යමන්      පුතේ
වට පිට දැනෙන මිනිසත්කම ඇතිව     සිතේ
හෙට ලොව ජය ගනින් මම නුඹ ළඟයි පුතේ........ 

Thursday, October 13, 2016

සුන්දර හින්දි වැස්සට මටත් තෙමෙන්න හිතුණා......( මම තේරූ හින්දි ගී 10 )

සිංහල, හින්දි සහ අනිකුත් භාෂාවල ගී වැසිවලින් පහුගිය ටිකේ බ්ලොග් ලෝකය පිරී ඉතිරී ගියා. ඉන්පසු වැහි අඩු වී නියඟයකට ඔන්න මෙන්න තිබියදී 'වර්ණ' හින්දි වැස්සක් ආයිත් වහින්න පටන් ගත්තා. ඉතින් දිනේෂ් ගෙනා මේ දෙවෙනි හින්දි වැස්සට නොතෙමී ඉන්න හැදුවත් හිත කියන්නෙම ඒ වැස්සට තෙමියන්, තෙමිලා උණ හදා ගනින් කියළා. විස්තර මුකුත් නොකියාම ගීත දහය අහමු බලමු.

 1. ' Mother India '
  

 
 2. '  Madhumati '
 


 3.  ' Aradhana ' 
 


 4.  ' Aradhana ' 

  5.  ' Noorie ' 



6.  ' Julie '





7.  ' Saajan ' 


 8.  ' Saajan '
 


9.  ' Dil ' 
 


 10.  ' Yadon ki Barat '


අමාරුවෙන් ගීත දහයක් තෝරගත්තා. ' දිල් ' ' සාජන් ' වගේම ' ආරාධනා ' කවදත් අමතක නොවන නිර්මාණ. ඒවායේ හැම ගීතයකට කැමති බවත් කියන්න ඕනෙමයි.







Tuesday, October 4, 2016

ඔයා තියා..........

පියා
නියා
ඔයා
තියා
එයා
ගියා
ප්‍රියා
සොයා.......


 

Monday, September 26, 2016

නැන්ද දිනේ දන්නේ නැද්ද............

දානෙ දෙන්න නැන්ද නැද්ද
නැන්ද දානෙ දුන්නෙ නැද්ද
නන්ද නැන්ද දන්නෙ නැද්ද
නැන්ද දිනේ දන්නේ නැද්ද

නින්දා දුන් දෝණි නැද්ද
නින්ද නොදුන් දෝණි නැද්ද
දානෙ දිනේ දෝණි නැද්ද
දෝණි දිනේ දන්නෙ නැද්ද

නැන්දෙ දානෙ දෙන්නෙ නැද්ද
දානෙ දිනේ දන්නෙ නැද්ද
දෙන්න දානෙ දෙන්නෙ නැද්ද
දානෙ දෙන්න දන්නෙ නැද්ද

Friday, September 16, 2016

නැහි නැහි උපදිනා සුසුමන් වෙනුවෙන්නේ

රත් පැහැ සළුව ගිනියම් වත මත     පටලා
මත් හිරු දෙවිඳු පෙරදිග අහසට     වැඩලා
අත් වන ඉරණමක පෙර සලකුණු  දැකලා
පත් නැති තුරු අරටු වැලපෙයි දුක කියලා

කිරි උතුරවා දෙවියන් ළග හිස         නමලා
දිරි ගත් හිත් පොකුරු කුඹුරේ දුක නොබලා
පිරි අරමුණක් හිත පතුලෙම සිර       කරලා
ඉරි රැඳි පොළොව හිනැහෙයි සරදම්  මවලා

අඳුරු වළා පාවි යයි නැහැ               රැඳුණේ
පිදුරු ලෙසින් පැළ ගොයමත් පැහැ බැඳුණේ
රුදුරු හුළඟ සරු වී දිය බිදු              සිඳුණේ
සොඳුරු අනාගතයක පැතුමන්         බිඳුණේ

ඇහි පිල්ලමක් යට කදුලැලි      නලියන්නේ
එහි තෙතමනය කෝ හදවත   වැළපෙන්නේ
නැහි නැහි උපදිනා සුසුමන්   වෙනුවෙන්නේ
වැහි දෙවිඳුණේ නුඹෙ කරුණා    අයදින්නේ.......

Sunday, September 11, 2016

ඉයන්ගේ සහ තුශානිගේ ගී පද අභියෝගයට මගේ පිළිතුර...




ඉයන්ගේ ගීත 16 අභියෝගයට එක්වෙන්න බැරි වූ නිසාම මේ අභියෝගයට කොහොම හරි මුහුණ දෙන්න හිතාගත්තත් ඒක හිතන තරම් ලේසි පහසු වැඩක් වුණේ නෑ.මොකද මෙච්චර කාලෙකට කවි ලිව්වත් ගීතයක් ලියලාම නැති නිසා. තුෂානිගේ ලිපියත් බලලා ඒකෙ පද එහා මෙහා කරළා තමයි මේක ගැලපුවේ. කොච්චර දුරට සාර්ථකද නැද්ද කියලා දන්නේ කියවන බලන සහෝදර ඔබ සැම තමයි. ජයවේවා!!!

මේ තියෙන්නේ මගේ පදවැල

මල් පෙති දග කරමින්නේ
තුරු දලුපත් නැටවෙන්නේ
සුළගෙ නුඹේ සීතලයට ලෝබ නිසාමයි
මගෙ තනියට තියා ගන්නෙ
මතක කතන්දර ගොතන්නෙ
අලුත බැන්ද මේ දෝණිට යාලු නිසාමයි

මාල ගිරව් මා ඇහුවද
උන්ට කන්න බත් දැම්මද
රෝස කැකුළු මුතු කදුලැලි පා කෙරුවාදෝ
බෝනික්කන් ඉකි බින්දද
ඒ හඩ මට ඇහුනෙ නැද්ද
සුළගෙ නුඹත් ඒ පැත්තට ගිහින් එනවදෝ....

සුසුම් වියන් මැද තනිවී
අම්ම හඩනවද දුක් වී
තාත්තා ඈ සනසන්නට ගී කිව්වාදෝ
මහ ගෙයි හිටි බඩපිස්සී
ඔවුන් බලන්නට ළගදී
සුළගෙ නුඹත් එන බව මා කියා එනවදෝ....

සුළගෙ නුඹත් ඒ පැත්තට ගිහින් එනවදෝ....
සුළගෙ නුඹත් එන බව මා කියා එනවදෝ....
සුළගෙ නුඹත් ඒ පැත්තට ගිහින් එනවදෝ....
 

 
 


Thursday, September 8, 2016

සීත අඳුරෙ පලයන් මා හැර දමලා.........

පිදු  සෙනෙහසක අරුමය සිත තුළට ගලා
සුදු  පරවියන් යුවලක් මුතු කඳුලු       සලා
කඳු  මායිමේ හිරු මඩලට මුවා       වෙලා
මදු  මාලතිය යන්න ගියා වහං        වෙලා

නෙතට  අළුලු දා කඳුලැලි  මැකුවාට
පොතට  වද දිදී කුරුටුව      රැව්වාට
ගතට  හිරිගඩුව සරදම්        මැව්වාට
හිතට  දුකයි ඈ මා ළඟ      නැතුවාට

සීත  සුළං දැවටෙන විට අහක      බලා
පීත  පාට මල් දලපෙති         පටලවලා
ගීත  බෙදන සියොතුනි අමනාප  වෙලා
සීත  අඳුරෙ පලයන් මා හැර       දමලා.........

Monday, August 22, 2016

මල් පොකුරෙන් මලක් කැඩුවා උන් අදුරේ






මල් රටාව විසිරුණු බිම රැඳි           පැදුරේ
කල්ලියකට ගුරු විය නුඹෙ හඬ       අඳුරේ
තල් අරණේ හඩට හැරුනත් දොර  මැදුරේ
මල් පොකුරෙන් මලක් කැඩුවා උන් අඳුරේ

හිතට අරන් සමාජයේ            හරස්කඩක්
හඬට බිය නොවී පෙන්නුවෙ නුඹේ හඬක්
සැමට ජීවයයි කුමටද පිහියෙ         තුඩක්
අදට වසර දහයයි කෝ පුතුගෙ       හඬක්

අපේ කදුලු දකුණෙ වගේ තෙත නැද්ද
අපේ සුසුම් දකුණෙ වගේ බර    නැද්ද
අපේ ගැටලු ඒ තරම්ම දුක         නැද්ද
අපේකමත් ලංකාවට හිමි          නැද්ද

අපේ කදුලු උණුහුමකින් තෙත්     වෙන්නේ
ලිපේ ගින්න පපු කුහරේ දැඩි        වෙන්නේ
ඔපේ වැටුණු මැණිකකි පුතු වෙන් වෙන්නේ
තොපේ පිපාසෙට හෙනමයි ළං     වෙන්නේ

මගේ දෙපා වැද ආසිරි ගත්ත        පුතේ
මගේ මතක අතරේ සැරිසරණ      පුතේ
මගේ හුස්ම වියළෙන්නට කලින්   පුතේ
මගේ ඇහැට පෙනී යන්න වරෙන් පුතේ.........

Tuesday, August 9, 2016

සුසුමකවත් නැවතුණිනම්.........



ජීවිතය පිළිබදව මෙතෙක් මා දුටු භයානකම හෝඩුවාව රැගත් ඒ මූසල ලියවිල්ල අඩංගු ලිපි කවරය මම මේස ලාච්චුවෙන් පිටතට ගත්තෙමි. දෙතුන් වරක් නවා ගුලිකර තිබූ එම ලියවිල්ල, කවරයෙන් පිටතට විත් මා නෙතු ඉදිරියේ පෙනී සිටින්නේ කීවෙනි වතාවටද යන්න පිළිබදව මට හැගීමක් නැත. කෙසේ වෙතත් පළමු වතාවට මෙය මා ඉදිරියට පැමිණියේ අද උදෑසන බව පමණක් මට මතකය. මම එය දිග හැරියෙමි. දැල්වූ මේස ලාම්පුවේ ආළෝකය, කාමරය පුරා වූ අදුර පළවාහරින්නට අසමත් වුවද ලියවිල්ල බැලීමට ප්‍රමාණවත් විය. මගේ නෙත් ඒ ලියවිල්ල වෙත යොමුවිය.

දිනය, නම, වෙලාව, ප්‍රතිඵලය ආදී එහි සටහන් වූ සියල්ලක්ම දැන් මට කට පාඩම්ය. යළිත් මගේ නෙත් නතරවූයේ ඒ භයානක වූ ප්‍රතිඵලය මතයි. හීන් දාඩියකින් මුහුණ තෙත්වූ අතර තොල කට වෙලී ගියෝය. මම නැවතත් වියරු වැටුණු පුද්ගලයෙකු මෙන් කලබල වීමි. ඒ ලියවිල්ල ගුලිකර වීසි කරන මොහොතේදී මගේ සුරත වැදී වතුර වීදුරුව බිම සිප ගත්තේ වතුර මෙන්ම වීදුරු කැබලිද හැම තැනම විහිදුවමිණි. අවුල් වූ සිතුවිලිවලින් මගේ හිස පිරී බර වී ඇත. මම මේසය මත හිස තබාගත්තෙමි. ඒ මොහොතේ දොරට ගසන ශබ්දයක් ඇසුණේය.

' චංචල මහත්තයා, චංචල මහත්තයා.....' ඒ මගේ මෙහෙකරුගේ හඩයි.
'ඇයි'
'ඇයි මේ මහ දවාලේ දොර ජනෙල් වහගෙන.බල්බ් එක දාගෙනත් නෑ.'

අඩවන්කර තිබූ දොර විවෘත කරන ශබ්දය මට ඇසුණේය. තවත් මොහොතකින් විදුලි බල්බය දැල්වුණි. ඔහු එය දල්වන්නට ඇත.

' චංචල මහත්තයා බෙහෙත් ගත්තේ නැද්ද? තාමත් ඔලුව කැක්කුමද ?'
' දැන් හොදයි'
'උදේ දොස්තර මහත්තයා හම්බෙන්න ගියාද? ආ......වීදුරුවක් කැඩෙන සද්දෙටයි මම ආවේ. මේ තියෙන්නේ වීදුරු කෑලී.'
'මගේ අතින් වීදුරුව වැටුණා'
'ඉන්න මම අස් කරන්නම්.' ඔහු තව මොනවාදෝ කියමින් වීදුරු කැබලි ඇහිදින ශබ්දය මට ඇසුණි.
' දොස්තර මහත්තයා මොනාද කිව්වේ ? '
' මුකුත් නෑ. මගේ ඔලුවෙ කැක්කුම වැඩි නොකර මෙතනින් යනවාද ? '
' අනේ කේන්ති ගන්න එපා මහත්ත්යා. මම මේ.....'
'අයියෝ, යනවා යන්න මෙතනින්. ආවා වීදුරු කෑලී අහුලන්න '

මම පුටුවෙන් නැගිටමින් කෑ ගැසුවෙමි. අසරණ මෙහෙකරු තිගැස්සුණ අයුරු මම දුටුවෙමි. පව්. කලබල වී දිවයද්දී එකතුකෙරූ වීදුරු කැබලි කිහිපයක් බිම වැටුණු නමුත් ඔහු නතර නොවී කාමරයෙන් පිටට දිවගියේය.

ඔහු ගිය පසු මම දොර වසා අගුලු දැමුවෙමි. විදුලි බල්බයද නිවා දමා බිම හිදගනිමින් බිත්තියට හේත්තුවූයෙමි. ඒ ලියවිල්ලේ වූ භයානක ආරංචිය යළි යළිත් මට වදදෙන්නට විය. නුපුරුදු ඒ හැගීමත් සමග මම බිත්තියට හිස තබා ගෙන හුදෙකලා වීමි. මේස ලාම්පුවේ ආළෝකය මට සැනසීමක් ඇති කිරීමට සමත්විය. එක්වරම නාදදෙන්නට පටන්ගත් ජංගම දුරකථනය මගේ හුදෙකලාවට බධා කළේය.

ඇමතුම පැමිණෙන්නේ ' පියවි' ගෙනි. උදේ පටන් මට ඇමතීමට ඈ දරණ කීවෙනි උත්සාහයද මේ ?. එහෙත් වෙනදා මෙන් ඈ සමග කථා කිරීමට අද මට සිතක් නැත. ඈ සමග තව කුමක් පිළිබදව කථා කරන්නද ? මංගල යෝජනාවක් මත අප දෙදෙනා හදුනාගෙන ගතවූයේ තවමත් මාස දෙකක කාලයක් පමණි. ඈ අපේ මංගල උත්සවය පිළිබදව සිහින දකින මොහොතේදී එම සිහින බිදදා මටත් වඩා හොද කොල්ලෙක් සොයා ගන්නයැයි මම ඇයට කියා සිටින්නේ කෙසේද ? අහිංසක පියවිට මාගේ තත්වය තේරුම්කර දීමට අවශ්‍ය වුවත් එය මට කළනොහැකිය. ආදරයේ පූජනීයත්වය මම ඉගෙන ගත්තේ ඇයගෙනි. ජීවිතය නිවැරදිව විදීමටත් කෙනෙක්ට ගෞරව කිරීමටත් මම ඉගෙන ගත්තේ ඇයගෙනි. එවන් උතුම් තරුණියකගේ ආදරයක් ලබා ගන්න තරම් මම පිංකර නැත. අතීතයේ කළ කී දේවල්වල විපාක දැන් මා පසුපස ලුහුබදිමින් සිටියි. එදා වපුරණ ලද බීජවල අස්වැන්න දැන් ලැබෙමින් පවති.

මට සමාවෙන්න පියවි. දහස්වාරයක් මට සමාවෙන්න. ඔබත් සමග කථා කිරීමට තරම් සුදුසු මානසික තත්වයක් දැන් මට නැත. මම දුරකථන ඇමතුමට පිළිතුරු නොදීම විසන්දිකර අනතුරුව ක්‍රියා විරහිතකර බිත්තිය දෙසට දමා ගැසුවෙමි. එය කැබලි වී යන්නට ඇත. ඒ මොහොතේදී බිත්තියේ රදවා තිබූ රාමු කරන ලද මගේ ඡායාරූපය මම දුටුවෙමි.

හිටි තැනින් නැගිට ඒ අසළට ගිය මම ඡායාරුපය ගලවාගෙන මේසය මත තබා ගත්තේ පුටුවේ වාඩිවන අතරේය. වසර කිහිපයකට පෙර ගත් එම ඡායාරූපයේ මම හිනාවෙමින් සිටින අපූරුව! එහෙත් මෙම හිනාව මට සමච්චල් කිරීමක්ද ? මගේ දුර්වලකම්වලට මේ ඡායාරූපය හිනා වෙන බවක් මට දැණුනේය. ඒ හිනාව යළි යළිත් දෝංකාර දී මට ඇසෙන්නට විය. තවත් ඉවසාගෙන සිටිය නොහැකි වූ මම ඡායාරූපයට සුරතින් පහරක් එල්ල කෙරුවෙමි. ආවරණයකර තිබූ වීදුරුව කැඩී ගියේය. එහෙත් ඡායාරූපයේ සිටින චංචල, වීදුරු කැබලිවලට මැදිවී තවමත් සිනාවී සිටින්නේය. මම ඡායාරූපය හෙමින් හෙමින් පිරිමැද්දෙමි. කැඩුණු වීදුරු කැබැල්ලක් මැදගිල්ල බදා ගත්තේ ලේ බිදුවක්ද මතු කරමිනි. වෙනදාට තුවාලයක් හෝ ලේ බිදුවක් හෝ දුටුවිට කලබල වන මට අද ඒ පිළිබදව කිසි හැගීමක් නැත. වීදුරු කැබැල්ල ඉවත් කෙරූ මම ඇගිල්ල මිරිකා ලේ බිදුවේ ප්‍රමාණය තව තවත් වැඩි කර ගත්තෙමි. ඒ සමගම අතීතයේ අමතක නොවන එහෙත් මේ තරම් කාලකන්නි තත්වයකට මාව පත් කරලීමට සමත් වූ ඒ මූසල සිදුවීම් එකතුවක ආරම්භක අවස්ථාව යළිත් මගේ මතකයේ හොල්මන් කෙරුවේය.

ඈ ' මංමුලා ' නම් විය. දුටු දුටුවන්ගේ නෙත් සිත් සැනින් වශී කර ගැනීමට සමත් රුවකට හිමිකම් කී මංමුලා, කාගේ කවුද ? පදිංචිය කොහේද ? ආදී ප්‍රශ්ණවලට දීමට අදටත් මා අසළ පිළිතුරු නැත. ඒ පිළිබදව ඇගෙන් අසා දැන ගැනීමට තරම් අවශ්‍යතාවයක්ද මට එදා තිබුණේ නැත. අවශ්‍ය වූයේ ඈ සමග කථා කිරීමටය, ඈ සමග කාලය ගත කිරීමටය, රහ බේරෙන ඇගේ සිරුරේ ස්පර්ශය ලැබීමටය.

ඒ වන විට පියවි මගේ ජීවිතයට පැමිණ නොසිටි අතර මම රැකියාවට පැමිණ එතරම් කාලයක්ද ගතවී නොතිබුණි. බස් නැවතුම්පලේදී මුණගැසුණු මංමුලාගේත් මගේත් දැනහැදුණුම්කම කෙළවර වූයේ නගරයේ සුපිරි නිවාඩු නිකේතනයක උඩු මහළේ සැප පහසු කාමරයක් තුළය.

එදා සවස මම ඉන වටා තුවායත් දවටාගෙන නාන කාමරයෙන් පිටතට පැමිණෙනවාත් සමගම මංමුලා මාවෙත පිහියක් සහ අඹ ගෙඩි කිහිපයක් සහිත භාජනයක් මට දී නාන කාමරයට රිංගා ගත්තාය.
' ඉක්මණට එන්නම් ' ඈ එහි දොර වසමින් පැවසුවාය. තුවාය පිටින්ම ජනේලය අසළට පැමිණි මම පිගානෙන් එක අඹයක් ගෙන එහි පොතු හැරීමට පටන් ගත්තෙමි. එහෙත් මගේ සිත ඈ අසළය. ඇගේ මත්වන හිනාව අසළය. එක්වරම පිහිතලයට දබරගිල්ල කැපුණි. පිහියත් අඹ ගෙඩියත් මේසය මත තැබූ මම දබරගිල්ලේ මතුවූ ලේ බිදුව පිසදා තුවාලය පිරික්සුවෙමි. ඒ මොහොතේ පිටුපසින් විත් මාව වැළදගත් මංමුලා මගේ නිරුවත් පපු ප්‍රදේශය හෙමින් හෙමින් පිරිමැද්දාය.

' තාම සුද්දකරේ නැද්ද ? ' ඈ මා ඉදිරියට පැමිණියාය.
' ඇයි මේ ?ඇගිල්ල කැපුණාද ? කෝ බලන්න '

ඈ මගේ දබරගිල්ල පරීක්ෂා කරමින් මොනවාදෝ කියවන්නට ගත්තාය. එහෙත් මට ඒ කිසිවක් ශ්‍රවණය නොවූයේ ඇගේ රුවට මා වශී වූ නිසාය. ළා කොල පැහැ තුවායෙන් ඇගේ සිරුරේ යම් ප්‍රමාණයක් ආවරණය වුවත් ස්ත්‍රී ලාලිත්‍යය දැක ගැනීමට එයින් බධාවක් නොවුණි. ඈ කථා කරණ විලාසයට මෙන්ම ඇගේ අශ්වාස ප්‍රශ්වාස ක්‍රියාවටද සාපේක්ෂව උස් පහත්වන තිසර යුවලක් වන් දෙපියයුරු ළා කොල පැහැ තුවායෙන් පිටතට පනින්නේ කොයි මොහොතේදැයි මග බලමින් සිටින්නෝය. තවමත් තෙත කොණ්ඩයෙන් මතුවන වතුර බිංදු ඇගේ මුහුණ සහ ගෙල සිපගෙන ආශාවෙන් පහළට රූරා යන්නෝය. මේ රූ සිරි විදින අතරේ ඈ මගේ කම්මුලට ඇන්නේය.

'කොහෙද අතරමංවුණේ ?'
'වෙන කොහෙද ඉතින්..... '
'රිදෙනවාද ? '
'ම්...මොකද්ද ?'
'වෙන මුකුත් නෙමේ, තුවාලේ '
'හ්ම්......'
'ගොඩාක් ? '
' ගොඩ....ක් '
මම ඇගේ මුහුණ දෙසට ළං වීමි.
' සනීප කරනවාද ? '
' හ්ම්.... '
ඈ මගේ තුවාල වූ ඇගිල්ල කටේ දමාගත්තාය.
' සනීප කරන්න කිව්වේ තුවාලේ නෙමෙයි....'

ඈ මට රැව්වාය.  දැන් මගේ ඇගිලි ඇගේ සිනිදු නිකටේ ස්පර්ශ විය. මම උවමනාවෙන්ම ඒ නිකට දෙකම්මුල් ආදිය හෙමින් හෙමින් පිරිමැද්දෙමි. ඇගේ මත්වූ දෙතොල්, කථා කරන දෙනෙත්, හැගුම්බර කෙදිරිය මාව ටිකෙන් ටික ප්‍රබෝධමත් කිරීමට සමත් වූවෝය. මම තව තවත් ඈට ළංවීමි.  

අප දෙදෙනාගේ තොල්පෙති අතර පරතරය ක්‍රමක්‍රමයෙන් අඩුවී ගොස් අවසානයේ පරතරය නැත්තටම නැතිවී ගියේ දෝතින්ම ඈව වැළද ගනිද්දීය. තවත් මොහොතකින් ඒ ළා කොල පැහැ තුවාය බිම හෙලීමට මගේ දෑතට හැකිවුණි. ඒ අවසරයෙන් මෙතෙක් වෙලා සිරවී සිටි තිසර යුවළ නිදහස්වී තව තවත් මාව ප්‍රබෝධමත් කළෝය. ලතාවක් තුරුවක වෙලෙන්නාක් මෙන් ඇගේ දෑත් මගේ නිරුවත් පපුව දිගේ විත් ගෙල වටා එතුණෝය. දැන් දැන් හෘද ස්පන්ධනය, ශ්වසන ක්‍රියාවලිය මෙන්ම මගේ රුධිර පරිවහන ක්‍රියාවලියත් වේගවත් වන බව මට හොදින්ම දැණුනේය. තවත් මොහොතකින් ඇගේ දෑත් මගේ ගෙල ප්‍රදේශයේ සිට පහළටත් පිට පුරාවටත් ඒ මේ අත සැරිසරන්නට පටන් ගත්තෝය. එහි ප්‍රතිඵලය වූයේ මගේ සිරුරේ රැදී තිබුණු තුවායද නිරායාසයෙන්ම ගෙබිම සිප ගැනීමයි. ගිණි ඇවිළුණු අපේ සිරුරු, රතිහරඹයේ සුව වින්දෝය. එදා සතුටක් වුවත් අද එය....

'චංචල මහත්තයා'
මෙහෙකරුගේ ඇමතීමෙන් මම කල්පනා ලෝකයෙන් කාමරයට වැටුණි.
'චංචල මහත්තයා, මේ දොර අරින්න'
මම දොර විවෘතකළ විට ඔහු මා දෙස බලා සිටියේ බිය මුසු මුහුණෙනි.
'ඇයි ?'
'ගෙදරින් මහත්තයාගේ අම්මා කථා කළා. මහත්තයාට කිව්වා ගෙදරට කථා කරන්න කියළා'
'හා'
'මහත්තයා...'
'ඒ පාර මොකෝ ? '
'කෑම ටිකක්.....'
'මට ඕන කෑමක් නෑ. එක සැරයක් කිව්වනේ'

මම වේගයෙන් දොර වැසුවෙමි. මේසය අසළ යළිත් හිද ගනිමින් හුදෙකලාව විද ගැනීමට හුරු වූයෙමි. වරෙක මංමුලාත් වරෙක පියවිත් තවත් වරෙක ඒ ලියවිල්ලත් මා ඉදිරියේ මැවී පෙනෙන්නට විය. පාලනයකින් තොරවූ හැගීම් සමග අයාලේ යන මා වැන්නවුන්ට උරුමවන ඉරණමද මේ ? මංමුලාට පෙර පියවි මුණගැසුනේනම් මගේ ජීවිතය සාර්ථක වීමට ඉඩතිබුණි. පියවි මුළු හදින්ම මට පෙම් කරන බව මම දන්නෙමි. එක අතකින් අපේ විවාහයට පෙර මෙසේ වීම හොදය. නැතිනම් මගේ වැරදිවලට වන්දි ගෙවන්න සිදුවන්නේ අසරණ ' පියවි' ටය. මම වහාම පියවිට ලිපියක් ලිවීමට සිතුවෙමි.  

මට සමාවෙන්න පියවි. සිය දහස් වාරයක් මට සමාවෙන්න. බුද්ධියට ඉඩ නොදී හැගීම්වලට වහල් වූ මට අද අත්වී ඇත්තේ භයානක ඉරණමකි. තවත් ඔබ මා වෙනුවෙන් දකිමින් සිටි සිහින, කරමින් සිටි ප්‍රාර්ථනා ආදිය නතර කරන ලෙස මම ඔබෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. ජීවිතය, ජීවත්වීම ආදිය දැන් මට තහනම් වූ වචනයන්ය. ඉතින් දුක් නොවී ඔබ ජීවිතයට මුහුණදෙනු ඇතැයි මම සිතමි. ඔබව සිහිකරමින් මා මේ ලෝකයේ රැදෙනුයේ තව සුළු මොහොතක් පමණි. වහලයේ බාල්කයත් මීට මොහොතකට පෙර මවිසින් එහි රැදවූ කඹයත් මගේ ගෙලේ උණුසුම් ස්පර්ශය බලාපොරොත්තුවෙන් නොඉවසිල්ලෙන් පසුවන බව මම දන්නෙමි. අද උදේ වෛද්‍ය පරීක්ෂණ මධ්‍යස්ථානයෙන් ලැබුණු ඒ මූසල ලියවිල්ලට අනුව මා දැන් ආසාදිතයෙකි. සුව කළ නොහැකි, හතුරෙකුටවත් බෝ නොවිය යුතු දරුණු සමාජ රෝගයකින් මම දැන් දැවෙමින් සිටිමි.

යළිත් දොරට ගසන ශබ්දය ඇසුණි.
'චංචල, චංචල. මේ දොර අරින්න, මම පියවි. උදේ ඉදන් මම ඔයාට කෝල් කරන්න හැදුවත් ඔයා එක වතාවක්වත් මට කථා කළේ නෑ'
පියවි කෑ ගැසුවාය. නමුත් මේ මොහොතේදී මට ඇගේ ඉල්ලීම ඉටු කළ නොහැකිය.

'අනේ චංචල මේ දොර අරින්නකෝ ! '
මම තවත් ඊට කන් නොදුන්නෙමි.

මට සමාවෙන්න පියවි. ඔබ සිතේ මා පිළිබදව වූ මතකයන් මේ මොහොතේ පටන්ම ඉවත්කර දමන්න. හැම මතකයක්ම නැතිකරගන්න. අවසානයේදී මම ඔබේ ' සුසුමකවත් නැවතුණිනම් ' මා වෙනුවෙන් ඒ සුසුමත් පිටකර අලුත් සුසුමකින් ජීවිතය පුරවා ගන්න. අලුත් ජීවිතයක් ගැන සිහින දකින්න. මම චංචල.

ලිපිය ලියා නිම කළ මම එය මේසය මත තබා ඉක්මනින්ම බාල්කයේත් ඒ ඔස්සේ පහළට එල්ලී වැනෙන කඹයේත් දොළදුක සංසිදුවීමි.


    -----  නිමි ----- 

Friday, August 5, 2016

මටත් හිතෙනවා අගමැති වෙන්නට..........

දුගී බව පන්නා දමන්නට
ඉක්මනින් දියුණුව ලබන්නට
පරම්පරාවට සළකා ගන්නට
මටත් හිතෙනවා අගමැති වෙන්නට

උපාධිදරයන් අඩු කරන්නට
උන්ගේ කටවල් වසා දමන්නට
උගත්කම සෝදා හරින්නට 
මටත් හිතෙනවා අගමැති වෙන්නට

පසු පසින් විත් මගේ දිනුමට
සහය වූ නූගතුන් පොදියකට
බුරුතු පිටින් රැකියා බෙදන්නට
මටත් හිතෙනවා අගමැති වෙන්නට

කු/ගලින් පොල් ඉඩමක් ගන්නට
අනුපුරේ හෝටල් හදන්නට
ටීවි එකකුත් පටන් ගන්නට
මටත් හිතෙනවා අගමැති වෙන්නට

ලොව වටා දුක සැප බලන්නට
ලෝකයන් හට සලකා ගන්නට
පාස්පෝට් කිහිපයකුත් ගන්නට
මටත් හිතෙනවා අගමැති වෙන්නට

මා නමින් හිරබත් ගිලින්නට
එකෙක් දෙන්නෙක් හිරේට යැවුමට
බැරිම නම් හොර ලෙඩ දා ගන්නට
මටත් හිතෙනවා අගමැති වෙන්නට

කුඹුරු ගොඩකර මාර්ග හැදුමට
රොකොට්ටුවක් අහසට යවන්නට
අහසේ මගෙ නම කොටා තබන්නට
මටත් හිතෙනවා අගමැති වෙන්නට

රටම කාලා සුවසේ ඉන්නට
දෙව් ලොවේ සැප මෙලොව විදින්නට
ජනපති පුටුවට කෙල හලන්නට
මටත් හිතෙනවා අගමැති වෙන්නට..........

Monday, July 25, 2016

මරණ මගේ පදවැල් වැලපෙයි දුකසේ......

සොදුරු වසන්තෙක පිපි ගී      ලතාවේ
මියුරු නදින් හිත් පිබිදුනු       වෙලාවේ
පවුරු සදිසි ' හෙළ සළකුණ ' කලාවේ
කවුරු මිමිණුවත් අද මා   හුදෙකලාවේ

පෙර දින හිතක් මත් කරවන මිහිරි         නද
කරදර ගින්නෙ දැවි දැවි පන්නරය          ලද
හර බර ප්‍රසංශා අභිමන් වුණි            නොමද
පෙර පිනකින් ලැබූ ජන ආලය කොහෙද අද

තොරන බැදන් පිළිගත් තරු රෑ අහසේ
පරණ වෙලා දැන් දිස්නය නෑ පෙරසේ
සරණ පතා නව තරු අල්ලන    රිසිසේ
මරණ මගේ පදවැල් වැලපෙයි දුකසේ...... 

Monday, July 18, 2016

පාට මලක් වුව නෑ දුක මිලිනයට



කදුල නොදෙයි අවසරයක්  පිපෙන්නට
මල්පැණි නැතුව වැරහැලි වී  අකාලෙට
පරව යන නමුත් දවසක විටෙන්      විට
පෙති කුමකටද එය සුවදින් මිදුන    විට

පාට පාට තැවරුණු මල්         පෙතිවලට
ආල හිතක් ඇති කරගන්නේ          කුමට
පාර සොයන බඹරුනි ආදර           කමට
කෝල හැගුම් නොනගනු දුක හිතෙයි මට

ලාමක හීනයක බොදවෙන කදුලු  කැට
පාවඩ අතුරවයි නිසසල තනි        කමට
පාලු හදට සුසුමක සුව දැනෙන       විට
පාට මලක් වුව නෑ දුක          මිලිනයට

Wednesday, July 13, 2016

රිද්දනු ඇයිද මේ කිරි හිත හඩයි නිතී........



සසරෙ උතුම් මව් පිය පදවියයි         සිතා
ආවෙමි කුසට නුඹගේ සෙනෙහසක් පතා
කැකුළ සිදින්නට හිත හිර කරන      කතා
සිදිනු එපා මම වෙමි හෙට දිනයෙ    පුතා

පෙරුම් පිරුවෙ ගිය භවයෙන් නික්මෙන්න
මා පිය දෙදෙනගේ හැඩරුව      දැකගන්න
'කරුමය' කියා මේ හැටි මට වද     දෙන්න
වරද මගෙද දැන්වත් මා             පිළිගන්න

විදුලිය වගේ නිතරම ඇස්          පිච්චෙනවා
තියුණු කටු ඇනී ඇග ලේ         වැගිරෙනවා
හුස්මක් නැතුව දැන් ටික ටික    ගැස්සෙනවා
ඉවසාගන්නේ කොහොමද මා  කැරකෙනවා

තිරිසන් සතුන්ටත් දරු සෙනෙහස  දැනෙතී
දරුවන් නොමැති අය නිති කදුලැලි   සලතී
මනසින් උසස් ගතිගුන දැන් වෙනස්  වෙතී
රිද්දනු ඇයිද මේ කිරි හිත හඩයි          නිතී........


Monday, July 11, 2016

ආලය වෑහෙන සොදුරුයි අද දින......

දළුපත් ඇහැරෙන
හිරිගඩු නැටවෙන
පෙම් හිත් නැහැවෙන
සිසිල කොහෙද වෙන

සියොතුන් නලියන
රහසක් මුමුණන
නිසසල රජයන
සුළගත් නැවතුන

හිරු මල හිනැහෙන
කොහෙදෝ සැගවුන
මීදුමකින් මන
හැගුමන් පුබුදින

උණුහුම තැවරෙන
සතුට දෝරෙ යන
ආලය වෑහෙන
සොදුරුයි අද දින......

Tuesday, July 5, 2016

දියවන්නා දියට මැදිවී

නහර පුම්බගෙන
උගුර කඩාගෙන
කෑ ගසා ගන්නවා
රිලව් ටික කෑ ගහනවා

දවට ගත් සුදු ඇදුම
කිරිසප්පයින් ලෙසම
ජරා කර ගන්නවා
ඌරු රැළ මඩ ගාගන්නවා

කියන්නට හේතුත් නැතී
නිතර වලියට ගැතී
උන් වියරු වැටෙනවා
පොර කුකුල්ලු ලේ හලනවා

දියවන්නා දියට මැදිවී
සත්ව උද්‍යානයක සිරවී
ඇන කොටා ගන්නවා
වනචාරි මුන් මරාගන්නවා

උභයජීවී නයි පොළොන්
හයිනාවෝ සිල්ගත් කොකුන්
මුන් කාලේ කා දමනවා
සල්ලි දියකර බිබී ඉන්නවා.......

Tuesday, June 28, 2016

සුදු අරලිය මල් පොකුරක්


'ඉහළකෝට්ටේ' නැවතුම්පොලේදී දුම් රිය නතර කරන විට සවස 6 ට ආසන්න වී තිබුණි. වැහි පොදක් දෙකක් බිම වැටුණද තවමත් සිරුරට දැනෙණුයේ උණුහුමකි. දුම් රියෙන් බැස ගත් මම වේදිකාවේ ආසනයක් මත වාඩි වීමි. පිටේ වූ බෑගය ගෙන ඉන් විදුලි පන්දමත් වතුර බෝතලයත් ගත්තෙමි. බෝතලයේ අඩකටත් අඩු වූ ජලය උගුරට දෙකට හිස් කෙරුවත් ඉන් පිපාසය පහව නොගියේය. ජංගම දුරකථනයෙන් යළිත් වරක් මානසීට ඇමතූ නමුත් සතියකට ආසන්න කාලයක් පුරාවට මෙන්ම අදත් ඇසුණේ ඇගේ දුරකථනයෙන් ප්‍රතිචාරයක් නොමැති බවයි.

අවට දැඩි අදුරකින් වැසී ඇත. යකඩයකා නැවතත් තිත්ත කලුවර දෙබෑකරෙගෙන තම ගමනාන්තය වූ මහනුවර බලා ගමනාරම්භයේ යෙදුණි. අනතුරුව මම රේල් පීල්ල මත මගේ ගමන අරම්භ කෙරුවෙමි. වැහිබර කාලගුණය නිසාම හද එළියක් නැත. කදු පල්ලම්, රූස්ස ගහ කොළ අතර හුදෙකලා වූ රේල් පාරේ ආළෝකයකට කියා ඇත්තේ විදුලි පන්දමේ ආළෝකය පමණකි. ඇද වැටෙන මල් වැස්ස, මහ වැස්සක් වීමට කලින් නවාතැනට යායුතු බැවින් මම පය ඉක්මන් කෙරුවෙමි.

හෙට අනිවාර්යෙන්ම මානසීව මුණගැසිය යුතුයි. අප දෙදෙනාගේ සම්බන්ධයට ඇගේ දෙමව්පියන්ගෙන් කැමැත්ත ලබා ගැනීමට මම එහි පැමිනෙණ බව ආරංචි වූ විට ඈට කොතරම් සතුටක් දැනෙනු ඇත්ද ? ඉතින් හෙට වනතුරු මට ඉවසා සිටීමට සිදුවේ. මේ මොහොතේ මල් වැස්ස මහ වැස්සක් බවට පත්වී ඇත. වැස්සේ තෙමීගෙන ඉදිරියට යනවා හැරෙන්න වෙන කිරීමට දෙයක් නැත. කෙසේ හෝ කෙටි බිම් ගෙවල් දෙකකුත් පහුකරමින් ඉක්මනින්ම නවාතැනට මම පැමිණියෙමි.

මසකට ආසන්න කාලයක් වසා දමා තිබූ බැවින් බෝඩිම් නිවස තුළ අතරින් පතර මකුලුදැල් වලින් පිරී තිබුණි. තෙත බරිත වූ බෑගය පුටුවට වීසි කෙරූ මම කමිසයද ගලවා දමා ඉක්මනින්ම ගේ අතුගා දැමුවෙමි. ඇදුම් සෝදා නාගෙන එන විට තවත් පැය භාගයක කාලයක් ගතවිය. අම්මා උයා දුන් බත් පාර්සලය දිග හරිද්දී නැගුන කෙහෙල් කොලේ සුවද මගේ කුසගින්න දෙගුණ තෙගුණ කරන්නට සමත්විය.

' මාත් ආසයි ඔයාගේ අම්මා උයන බත් කන්න '

'බත් කන්න විතරද....ම්..ම්...'

මානසී, ඈ යළිත් මගේ මතකයේ දග කළාය. ඒ හුරුබුහුටිය මගේ මතකයෙන් මගහරින්නේ කෙසේද ? ඒ මතකයන් සමගින්ම කෑම ගෙන අවසන්වූ මම ජනේලය අසලට විත් පාර දෙස බලා සිටියෙමි. වැස්ස අඩු වීමේ සේයාවක්වත් පෙනෙන්නට නැත. ඒ මොහොතේදී දොරට ගසන ශබ්දයක් ඇසුණු බැවින් මම ඒ දෙසට ගියෙමි.

'කව්ද?'

එහෙත් ප්‍රතිචාරයක් නැත. මගේ කෑම අරන් එන දාස මාමාවත්ද ? ඒත් මම අද මෙහි පැමිණෙන බව ඔහු දන්නේ නැත. මේ කවුරුන් විය හැකිද ? මම දොර විවර කෙරුවෙමි. පුදුමයකි. මා දකින්නට බලා සිටි ඒ රුව මා ඉදිරියේය.

'මානසී'

'ඔයාට'
ඈ දෑතේ සිරකර ගෙන සිටි සුදු අරලිය මල් පොකුරක් මා වෙත දිගු කළාය. මම එය ගන්නවාත් සමගම ඈ මා වෙතට පැන මාව වැළදගත්තාය.

'කොහේ යන ගමන්ද ? එතකොට මේ මල් ?'

'අම්මයි තාත්තයි පන්සල් ගියා. මාත් මේ පන්සල් යන ගමන්'

'ඒත් මානසී...'

ඈ මගේ දෙතොලට දබරගිල්ල තබා මගේ කතාව නතර කළාය. මම හිස සලා ඈ සමගින් පුටුවේ වාඩි වූවේ දොර වසා දමමිනි.

'අරලිය මල්. සුවදයි නේ?'

'හ්ම්'

'ලස්සනයි'

'ඔයා වගේමයි සුදු....'

මම මල් පොකුර මේසය මත තැබුවෙමි. ඈ මගේ දකුණු උරහිසට හිස තබනවාත් සමගම මම මගේ දකුණත ඇගේ ගෙල වටා දමා ගත්තෙමි. ඒ පිරුණු ලැමේ උණුහුම ඇගේ දුහුල් ගවුමෙන් පෙරි විත් මගේ නිරුවත් පපුව පුරාවටත් පසුව සිරුර පුරාවටත් ගලා ගියේ ක්ෂණිකවයි. ඒ උණුහුම් මිහිර අත්හරින්නට මටද උවමනාවක් නැත. මම තවතවත් ඇයව තුරුලුකර ගත්තෙමි.

'ජීවන'

'ම්....'

'කවද්ද එන්නේ අපේ ගෙදර'

'හෙට එනවා සුදු...'

මම ඇගේ හිස සෙමින් සෙමින් පිරිමැද්දේ නළලත සිඹින අතරේය.

'මම එනවා මගේ මැණික ඉල්ලගන්න'

'මේ ළග ඉන්නේ'

'හැමදාටම ළගට ගන්නයි ඉල්ලගන්නේ'

'ඔය ඇත්තමද ජීවන....'

'හ්...ම්....'

'ජී...ව.....න....'

මගේ අතැගිලි ඇගේ සිරුර පුරා එහා මෙහා දිවයමින් තව තවත් උණුහුමක් සෙව්වෝය. ඇගේ දුහුල් ගවුම ඊට බධාවක් නොවුණු අතර ඈ මට තව තවත් තුරුලු වූවාය. ඒ ලස්සන දෙතොල් පෙතිවල පහස මගේ දෙතොල්වලට ඇතිකළේ තවත් උනුහුමකි. මම දෑස් පියාගෙනම එම සුවය සිත් සේ වින්දෙමි. කාලය පියාඹන වේගය පිලිබදව මට හැගීමක් නැත.

දොරට ගසන ශබ්දයක් ඇසීමෙන් මම දෙනෙත් විවර කෙරුවෙමි. ඒ වන විට පහුවදා උදෑසන ආරම්භ වී තිබුණි. එහෙත් මානසි  මා ළග නොසිටියාය. තවමත් වසා නැති ජනේලයෙන් ඈ යන්නට ඇතිද ? කවුරුන් හෝ ඈව දකින්නට ඇතිද ? ප්‍රශ්න වැලකි.

'ඉස්කෝලේ මහත්තයා, ඉස්කෝලේ මහත්තයා.......'

ඒ පැමිණ ඇත්තේ දාස මාමාය.

'මේ එනවා මාමේ'

දෙනෙත් පිසදා දෑතින් කොණ්ඩය සකසාගෙන මම දොර හැරියෙමි.

'ඇතුළට එන්න මාමේ'

'ඇතුළට එන්න වෙලාවක් නෑ මහත්තයෝ. මම මේ පන්සලට හීල් දානේ දීලා එන ගමන්. පන්සල් යද්දී මම දැක්කා ජනේලය ඇරලා තියෙනවා. මං හිතුවා මහත්තයා ගමේ ගිහින් ඇවිත් ඇති කියළා. ඒකයි නිකමට වගේ ආවේ.'

'ඊයේ රෑ ආවේ දාස මාමේ. අර ඈතින් යන්නේ මානසීගේ අම්මයි තාත්තයි නේද?'

'හ්ම්. උන්දැලත් එක්ක තමයි මම පන්සලට ගියේ. හීල් දානෙත් උන්දැලාගේ. ඊයේ රෑ බණ'

'ඊයේ රෑ බණ! ඒ ඇයි මාමේ?'

'මහත්තයා ගමේ ගිහින් හිටිය හින්දා ආරංචි වෙන්න නැතුව ඇති. පහු ගිය ටිකේ මේ පැත්තට හොදටම වැස්සා. වෙද උන්දැගේ ගේ පිටිපස්සේ තිබ්බ අර පස් කන්ද ගේත් යටකරගෙන කඩා වැටිලා මහත්තයෝ.'

දාස මාමා සුසුමක් හෙලුවේ දෑසේ කදුලු පිස දමමින්.

'උන්දැයි හාමිනෙයි ඒ වෙලාවේ පන්සලේ ඉදලා තියෙන්නේ. මානසී කෙල්ල මල් කඩන් එන්නම් කියළා ගෙදර නතරවෙලා. අනේ ඒ අහිංසක කෙල්ල අර......'

ඔහුගේ දෙනෙත් යළිත් කදුලින් පිරී ගියේය.

'මොනවා !. එතකොට මා....න...සී......'

'ඔව් ඉස්කෝලේ මහත්තයෝ. පස් අයින් කරද්දී ඒ අහිංසකීගේ මිනිය හම්බවුණා. කෙලීගේ අතේ හිරවෙලා තිබ්බේ පන්සලට ගෙනියන්න කඩාපු සුදු අරලිය මල් පොකුරක්.'

                                    ----නිමි----

Sunday, June 26, 2016

නිල් නෙතු යුග කරයි වසී....

සසර පුරාවට සබැදී
ලෙන්ගතු හසරැල් ළබැදී
සොදුරු සිනා මල් පුබුදී
නුඹම තමයි මගෙ සුද්දී....

අහස්කුස පුරා දිළිසී
නීල වර්ණයෙන් සැරසී
යුගල තරුකා සදිසී
නිල් නෙතු යුග කරයි වසී....

පියා සලන වැහිලිහිණී
රැව් දෙන නාදයක් වැනී
ආල වදන් පුබුදන්නී
මා සනසන මගෙ හීනී....

පිරුණු මනා ළැම ඉස්සී
සියුමැලි වත පරිදි සිසී
රැලි පිට රැලි දිගු කේසී
නුඹ දැකුමෙන් ඉමි සැනසී....

මංගල ගී නද පැතිරී
ලෙංගතු දෙහදක විසිරී
සොදුරු නාද දෙන මිහිරී
කැන්දන් යමි සහකාරී....

Thursday, June 23, 2016

ගෙදර බුදුන් සිහිවෙලාද...

හෙමින් හෙමින් පා තබලා
සුදු අරලිය මල් නොතලා
සැහැල්ලුවෙන් පියනගන්නේ
මල් පෙති පොඩිවෙයි කියලද...

වැලි මතුපිට වරෙක බලා
හෙමින් ඉදල හසුරුවලා
වැලි මලුවම අමදින්නේ
කූඹි ගුල් වැහෙයි කියලද...

වැටිච්ච දං අහුලාලා
ආවාසය දෙස බලලා
හොරෙන් හොරෙන් රහ බලන්නේ
ලොකු නම සැරවෙයි කියලද...

ඈත පාරෙ දග කරලා
යන පාසල් ළමුන් දැකලා
මූණ නරක් කරගන්නේ
පාසල් යන්නට හිතිලද...

හඩ දෙන ලේනෙකු දැකලා
කපුටට ඉදලෙන් ගහලා
දිවවිත් ඌ බේරගන්නේ
ඌට තුවාලයි කියලද...

දිවයද්දී කටු ඇනිලා
ලේ බිදුවක් මතුවිලා
ඇස් කදුලින් පුරෝගන්නේ
ගෙදර බුදුන් සිහිවෙලාද...

Monday, June 20, 2016

ගැබ්බරයි තවමත් දෙනෙත.....

මේඝ පෙල ගැවසිලා
නිමක් නැති නිළඹරේ
කසු කුසුව ඇයිද අද
මටද ඔය සමච්චල්.....

බුරුතු පිටින් එක පොදියකට
රෑ අහසේ බැද විමන
වළක්වයි නෙතු මානයෙන්
තරු මඩළ සද මඩළ.....

ඇගේ මතකය දෝර ගලමින්
රිදුම් දෙයි තවමත් හිතට
විරහ කදුලක දුකක් දන්නේ
සද මඩළ පමණි දැන්.....

පලායනු මැන මේඝයිණි
විරහ දුක පා කර යවන්නට
පිටාර නොගලන දුකම සිරවී
ගැබ්බරයි තවමත් දෙනෙත.....

Tuesday, June 14, 2016

හෙනමයි උඹලට වදින්නේ ......

මහ වියදමක්
මවා පෑමක්
නමට පමණක්
අලියට වැටක්

අලින් ගම් වදිනවා
උන් ඇවිත් බලනවා
කමිටු පත් කරනවා
වැටත් මුල් අදිනවා

දුක් ගැහැට පරදා
වගා කෙරුවද සදා
අස්වැන්න අලියට පුදා
හූල්ලති ගම්මුන් මෙදා

ශාපෙ කාගෙදෝ
පාපෙ අපෙමදෝ
උන් අන්ධයිදෝ
රට කන්නේදෝ

අපේ දිවිය අලිය ගන්නේ
ගිනි ගත් දුක නැද්ද දන්නේ
රට කරවන මහ එවුන්නේ
හෙනමයි උඹලට වදින්නේ ......

Friday, June 10, 2016

මගුල් කෑම

            උදයේම හිරු පෑයුවද පරිසරයේ සුන්දරත්වයක් නොවූයේ වැහි ඇදිරිය නිසාමයි. ගස් වැල්ද නිශ්චලව සිටින්නේ කම්මැලියන් පරිද්දෙනි. කුරුලු කරච්චලයක් නැතත් කාමරය දෙසින් උරුවම්බාන හඩක් ඇසෙයි. පැරණි ඉංග්‍රීසී ගීතයක තාලයට මෙසේ උරුවම් බාන්නේ 'ලක්මිණ' නම්වූ දොස්තර සිසුවෙකි.

මිතුරෙකුගේ මංගල සාදයකට සහභාගී වීමට ඇති නිසාම ඔහුට අද දින තරමක අවිවේකීය. තම සපත්තු යුවල පිරිසිදු කරන ලක්මිණට බිත්තිය මත වසා සිටින කැරපොත්තෙක් අහම්බෙන් නෙත ගැටුනේය. වට පිට බැලූ ඔහුට සේදිමට ඇති කමිසයක් සහ තුවායක්, ඇද අසලම තබා ඇති ප්ලාස්ටික් කූඩයේ තිබෙන අයුරු පෙනුනි. ඉන් කමිසය ගෙන එය බෝලයක් මෙන් සකස්කර කැරපොත්තා දෙසට දමා ගැසුවේය. නමුත් එතැනින් ඉවත් වූ කැරපොත්තා දොර රෙද්ද මත වැසුවේය. ලක්මිණට ඉන් පසු අතට හසුවුනේ තුවායයි. ඔහු එය දොර දෙසට විසිකරනවාත් සමගම එතැනින් කාමරයට තුලට පැමිනියේ මවය. සිදු වූයේ කුමක්ද? තුවාය විසිවී ගොස් වැදුනේ කැරපොත්තාට නොව මවටය. ලක්මිණගේ උරුවම් බෑම එක් වරම නතරවිය.

'අ..ම්..මා...'
'තේ හැදුවා, ඇවිත් බිලා ඉන්න'

ඈ නැවතත් කාමරයෙන් පිටවූවාය. සැනසුම් සුසුම් පිටකල ලක්මිණ ඉක්මනින්ම සූදානම්වී සාලයට පැමිණියේය. මේසය මත තබා ඇති තේ කෝප්පයෙන් උගුරක් දෙකක් රස බලන අතරේ ජංගම දුරකථනය බෙරිහන් දෙන්නටවිය. ඔහු එයට පිලිතුරු බැන්දේය.

'හරි.. හරි... මචං.  මං මේ මග එනගමන්. හරි.. හරි... තිබ්බා.. තිබ්බා..'

ලක්මිණගේ කථාවට සාලයේ පුටුවකට වී සිටි මවට සිනා ගියේ ඇයි දැයි ඔහු හොදින්ම තේරුම් ගත්තේය. ඔහුද මව දෙස බලා සිනා සී තේ කෝප්පය හිස් කෙරුවේය.

'ගමන යන්නෙත් පරක්කුවෙලා. තව බොරුත් කියනවා'
'හරි හරි අම්මා. දැන් ඉතින් කොහොමත් යනවානේ'

ඔහු තේ කෝප්පය මේසය මත තබනවාත් සමගම ජංගම දුරකථනයද තැබුවේ අමතකවීමෙන්ය. වැහි අදුරෙන් පිරි අහස් ගැබ දෙස බලමින් ලක්මිණ මිදුලට පිවිසියේය. යාමට ඇත්තේ තරමක දුර ගමනක් නිසාත් එම පාරවල් පටු නිසාත් ඔහු ගමන යාමට මෝටර් ර්ථය නොව යතුරුපැදිය තෝරාගත්තේය. අනතුරුව මිටෙන් හල කුරුල්ලකු මෙන් වේගයෙන් එය පදවාගෙන ගියේය.

වැහි අදුරේ වලාකුලු අතරේ විටෙන් විට එහා මෙහා දුව පනින රිදී ඉරි මෙන්ම සීතලට හමා එන සුළං ධාරවන්ද මහ වැස්සක පෙර නිමිත්තක් බව ලක්මිණට පසක්වූයේ මදක් දුර ආ පසුවයි. ඒ අතරේ වැහි පොද එකින් එක පොලව තෙමන්න පටන් ගත්හ.

ලක්මිණගේ ප්‍රථම නැවතුම්පොල වූයේ ඉන්දන පිරවුම්හලයි. අවශ‍ය්‍ය තරමට ඉන්දන ලබාගත් ඔහු යළිත් ගමනාරම්භ කලේය. දැන් දැන් වැහි වැටීම නතර වූයේ ලක්මිණගේ සිතට මද අස්වැසිල්ලක් ගෙන එමින්ය.

ප්‍රධාන මාවතෙන් මදක් දුර ගොස් පටු බොරලු පාරට පැමිණීමත් සමගම යළිත් වැහි බින්දු කඩා පනින්නට පටන් ගත්හ. නොනවත්වාම තද වර්ෂාවක් නොතිබුනද ඉදහිට වැටෙන වැහිබිදු නිසාම ලක්මිණගේ ඇදුම් තෙත් වී තිබුණි. මග දෙපස  නතරවීමට නිවසක් හෝ නොවූයේ එය ගම්බද පලාතක් නිසා ජනගහනය අඩු බැවිනි. එබැවින් ලක්මිණ යතුරු පැදිය නොනවත්වාම ධාවනය කලේය. වැහි චුරු චුරුව වැඩි වී ඇත. බොරලු පාර පුරාම තැනින් තැන මඩ වලවල්ය. මේ නිසාම කලු පැහැ කලිසම මත තැනින් තැන තැඹිලි පාටින් බතික් වී ඇත. මෝටර් රථයෙන් නොපැමිණ යතුරුපැදියෙන් පැමිණීම පිළිබදව තමාටම හිතින් බැනගත් ලක්මිණට තමා පැළද සිටින සපත්තු ජලයෙන් පිරී ඇති බව දැනුණේය. මේ සියල්ල ඉවසාගෙන ඔහු මංගල උත්සවයට සහභාගි වුණේය.

එය ඉතා ඉහල මට්ටමෙන් සංවිධානය කර ඇති උත්සවයකි. ඈත සිට එය දුටු ලක්මිණ වත්තට ඇතුලුවී යතුරු පැදිය නිවසේ පිටුපස දෙසින් නතර කර මුලුතැන්ගෙය දෙසට පියනැගුවේය. මඩවලින් බතික් වූ ඇදුම් සමගින් පැමිණෙන ඔහු දෙස කවුරුත් විමසිල්ලෙන් බැලුවෝය. පොලොව පලාගෙන යන්න ඇත්නම් එය මීට වඩා සැපදායක බව ලක්මිණට සිතුණේය. එහෙත් වාසනාවකට මෙන් එතැනට පැමිණියේ ලක්මිණගේ තවත් මිතුරෙකු වූ සුගත්ය. ලක්මිණගේ සිරුරට ලේ බෝතලයක් ඉනුවා වැනි විය. සිදුවූ හැම දෙයක්ම ඉස්පිල්ලක් පාපිල්ලක් නෑර ඔහු සුගත්ට පැවසුවේ ඊට ක්ෂණික පිළියමක් බලාපොරොත්තුවෙනි.

' යමං අපේ ගෙදර. මේ කිට්ටුවමනේ තියෙන්නේ. ඉක්මනට එන්න පුලුවන්වෙයි. වැස්ස හින්දා මගේ කාර් එකේම යමං'

එපමණයි. සුගත්ට පින් දී ලක්මිණ වහාම මෝටර් රථයට ගොඩ වුණේය. තවත් මොහොතකින් ඔවුන් සුගත්ගේ නිවස අසලය. නිවසට ගිය සැනින් ලක්මිණ සරමක් පටලා කලිසමේ මඩ පැල්ලම් ටික සෝදා දැමුවේය. සුගත්ගේ ඇදුම් ලක්මිණට ඇදිය නොහැක්කේ ඔහු සුගත්ට වඩා සිහින් සිරුරකට හිමිකම් කියන නිසාවෙනි. ඇදුම් මැදීමට ගියත් නිවසේ විදුලිය ඇනහිටීම ලක්මිණගේ පසුතැවිල්ලට හේතුවිය. සුගත් වහාම අල්ලපු නිවසට ගියේ පොල් කටු ඉස්ත්‍රික්කය රැගෙන ඒමටයි. සුගත් පැමිණෙන තුරු මේස් යුගල මිරිකා දැල්වෙන දර ලිපෙහි දුම් මැස්සට දැමූ ලක්මිණ පොල්කටු දැල්වූවේය. ඉස්ත්‍රික්කය ගෙනා පසු එයින් යාන්තම් වේලී ඇති කලිසමත් කමිසයත් මැද ගත්තේය. ඉක්මනින්ම දෙවෙනි වරටත් ඇදුම් ඇදගත් ලක්මිණ තෙත් බව තවමත් රැදී ඇති මේස් යුගලද පලදාගත්තේය.

'ඉදා මේක ඇගට හලා ගනින්, සුවද දැනෙන්නේ නැතත් ඔය දුං ගද නොදැනෙයිනේ'

සුගත් දුන් සුවද විලවුන්ද ඇගට දමාගත් ලක්මිණ සුගත් සමග නැවතත් මංගල උත්සවයට ගියේය. මේ වනවිට වැස්ස වැහි පොදක් දක්වා අඩුවී තිබුණි. දිවා ආහාරය ගැනීමෙන් අනතුරුව නැවතත් ලක්මිණ මනාල යුවලට සුභ පැතීමට ගියේය.

'මලා'

දෑස් නළල දක්වා විහිදී ගිය ලක්මිණට එසේ කියැවුණේ මනාල යුවල ඉදිරියේදීමයි. මිතුරාට ගෙන ආ තෑග්ග තවමත් තමාගේ ඇද මත බව ඔහුට සිහිවුණේය. දැන්නම් වෙන කලහැකි දෙයක් නොවීය. මේසය මත තබා ඇති ලියුම්කවර වලින් එකක් ගත් ලක්මිණ එයට මුදල් දමා මිතුරාට දුන්නේය. එසේම නව මනාල යුවලට සියල්ල පවසා ඔවුන්ට සුභ පැතීමටද ලක්මිණ අමතක නොකලේය.

'මරු මගුල්කෑම, ඇති ඔයින් ගියා'

සුගත්, ලක්මිණගේ උදරයට තට්ටුවක් දමා කියාසිටියේය. මේවන විට වර්ෂාව අඩුවී තිබූ අතර තද අව්වක්ද  පැවතියේය.

'ලක්මිණ, යමං. මං කාර් එකේ ගිහින් දාන්නම්'

සුගත්ගේ ඉල්ලීම ප්‍රතික්ශේප කෙරූ ලක්මිණ හැම දෙනාටම සමුදී යතුරු පැදිය අසළට පැමිණියේය. එල්ලෙමින් ඇති හෙල්මටය වැහි වතුරෙන් පිරී ඇති බව ඔහු දුටුවේ ඒ මොහොතේදීයි.

'මරු මගුල් කෑම'

කියමන සිහිවූ ලක්මිණ නිවස දෙස හැරී   බැලුවේය.  සුගත් සිනාසෙමින් තමා දෙස බලා හිදින අයුරු ඔහු දුටුවේය.

'මරු මගුල් කෑම'

ලක්මිණ මිමිණුවේය.   


...... නිමි.....      

Monday, June 6, 2016

සෙනෙහස පිරි ජීවිතයට.......

හෙමින් හෙමින් දිලිහි දිලිහි
හිරු ළංවෙයි කිරි මුහුදට

හොරෙන් හොරෙන් පෙන පිඩුවල
තුරුලට වෙයි සීතලයට

එහෙන් මෙහෙන් හිතුමතේට
එලිය මැකෙයි පුරුදු ලෙසට

වටින් පිටින් මද අදුරද
කඩා පනියි පරිසරයට

වහන් වෙමින් මොහොතකදී
නුඹ හිනැහෙයි ලස්සනකට

හෙමින් හෙමින් ආදරයෙන්
නුඹ ගන්නෙමි මා තුරුලට

ළගින් ඉදන් ඈත සිතිජෙ
සොදුරු දසුන් ආදරයට

බිදෙන් බිදෙන් පොදි බැද ගමු
සෙනෙහස පිරි ජීවිතයට.......

Friday, May 27, 2016

පලා යන ඒ සොදුරු සෙනෙහස

කදුලු පිරි මේ පුංචි නුවන් යුග
නිමක් නොමැති නිලඹරට යොමා
දුහුල් හිතකින් වාව ගන්නේ
කෙලෙසදෝ ලතැවුල් සැමා
වහන් වෙමින් යලි උණන විටදී
දෙනෙත් කෙලවර කදුලු තෙමා
නිදහසේ කොපුලකට තුරුල් වී
ගලා යන්නට හරිමි මා.....

දූලි සුවදට නව පණක් දී
විසිරි යන්නට ඉඩ තබා
වැටෙන වැහි පොද හිතුමතේ විත්
නටයි පෙන්වා රග සොබා
සිසිලසට දැන් හිතේ තැන් නැත
උණුහුමට එම තැන තබා
පලා යන ඒ සොදුරු සෙනෙහස
සොයා යයි මා සිත හඹා.....

පාසලේදී අකුරු කෙරුවේ
අඹ සෙවන යට මග බලා
මතක මාලිග මකා දැමුවද
සොදුරු හදවත රිදවලා
ඈත් වූවද සුවද අරගෙන
මගේ ලෝකයම නවතලා
කුරිරු වෙස් ගෙන පිපෙනු හැකිදෝ
කැකුලකට සෙනෙහස සලා.....

Tuesday, May 24, 2016

වරෙන් පුතේ යලි මේ රට රැක ගන්න

පාලකයින්ගේ කලු සුදු රුව දුටුව පුතේ
අයුක්තියට පන්හිද ලස්සනයි පුතේ
පීඩිත ලොවක කදුලැලි රැක දුන්නු පුතේ
නුඹ නැති වුනත් නාමය වටිනවා පුතේ

දූෂිත රටක් නැත එය වදනින් පමණයි
අල්ලස් වගුරේ මඩ පිරිලා දෝරේ ගලයි
හැම මොහොතෙම ලෙළදුන්නේ පන්හිදමයි
පුතු නැති රටට පාලකයින්ගේ සරණයි

කටින් බතල සිටුවා රට කරවන්න
උන් දගලන්නේ හොදි ටික බොර කරගන්න
හුස්මක් වැටේනම් ලක් මව රැකගන්න
දිනය අත ලගයි කලගුණ සලකන්න

කාලය ගෙවී යනවා බෑ ඉවසන්න
උඹෙ මග අවුරලා උන් යහතින් ඉන්න
ලක් පොලොවයි උඹේ මවයි තුටු වෙන්න
වරෙන් පුතේ යලි මේ රට රැක ගන්න

Tuesday, May 17, 2016

අරණායකට සරණක්

පැවති අවපීඩන තත්වය දකුණු ඉන්දියාව දක්වා පැතිරීමට ආරම්භ වීමත් සමගම දිවයිනේ පැවති අයහපත් කාලගුණය මේ වන විට ක්‍රමක්‍රමයෙන් පහ වී යන අයුරු අද උදේ වන විට දැකගන්නට ලැබුණි. දින කිහිපයක් තිස්සේ බලාපොරොත්තු වූ හිරු රැස් අද උදයේම පොලෝ තලයට වැටී තිබීම සතුටට කරුනක්. අයහපත් කාලගුණයෙන් අනෙක් ප්‍රදේශ වලට සාපේක්ෂව අඩු බලපෑමක් ඇති නගරයකි, කුරුණෑගල. එවන් නගරයක ජීවත් වුවත් අවට නගරවල දකින්නට අසන්නට ලැබෙන ආපදා තත්වයන් හමුවේ කම්පා නොවී සිටිය හැක්කේ කෙසේද ?

මෙහිදී විශේෂයෙන්ම අප කාගේත් මතකයට නැගෙන්නේ 'අරණායක' ඛේදවාචකයයි. එම ඛේදවාචකය සිදුවූ අයුරු පිලිබදව තොරතුරු, සටහනක් ලෙස මෙහි තැබීමට අදහස් නොකරන්නේ එය පිළිබදව නොදන්නා කෙනෙක් සිටිය නොහැකි නිසාය.

එහි අවතැන් වී සිටින අපේම ජනතාවට අපිට හැකි අයුරින් පිහිටක් වීමට හැකිනම් එය කෙතරම් උතුම්ද ?

උදාවන්නේ වෙසක් සමයයි. දාන, ශීල, භාවනා ආදී වැඩසටහන්වලින් පිරී ඉතිරී යන වෙසක් මාසයයි. දන්සැල් පවත්වා හිතේ හැටියට ප්‍රීතිවන වෙසක් මාසයයි.
ඉතින් අපේම පිරිසක් අරණායක දුක්සුසුම් හෙලනවිට අපි ප්‍රීතිවී සිටීන්නේ කෙසේද? අපිට අන්ධ, ගොලු, බිහිරි ලෙස සිටිය හැකිද ?
මදක් සිතන්න.

ඔබ දැනටමත් දන්සැලක් පවත්වන්නට කටයුතු සන්විධානය කර තිබෙන්නට පුලුවන. එහෙත් ඔබ තවමත් පමා නැත. ඔබ එක් කරගත් දෙයින් අරණායකට සරණක් වීමට හැකිනම් හොදයි නේද? මෙය ඔබ මා කියන නිසාවත් හෝ පින් බලාපොරොත්තුවවත් හෝ නොව ඔබේ හිතට එකගව සිදුකරන්න. යම හොද දෙයක් කිරීමෙන් අපේ හිතට සතුටක් සැනසීමක් ලැබෙනවානම් ඊට එහා පිනක් අවශ්‍ය නැත.  මදක් සිතන්න.

කාර්යාලයේ වැඩ අතරේ ඉක්මනින්ම මෙය සටහන් කිරීම නිසා වචන ගැලපීම නිවැරදි නොවේනම් සමාවන්න. අවශ්‍ය වනුයේ ඔවුන්ට සහනයක් වීම පමණකි.

ජයවේවා !!!   

Friday, May 13, 2016

මම රැවටුනා ඔය සුන්දර හිනාවට

හීන් හඩින් නුඹ අමතන              කතාවට
වසග වුනා ඔය සුන්දර                ලතාවට
තොල් පෙති අතර දිලිසෙන මුතු මනාවට
මම රැවටුනා ඔය සුන්දර             හිනාවට

මතකය සුන්දරයි සිහිවෙන විටදි බිදක්
සතුට දරන්නට බෑ හදවතට    ගොඩක්
පළමු වතාවට මා නුඹ දුටුවෙ     දිනක්
සුවද සලා පිපී තිබෙන ඇහළ     මලක්

වැඩුනා සතුට නුඹ මා ලග ඉද්දි        ගොඩක්
ලැබුණා වගෙයි කතරට මල් වැස්සේ පොදක්
දුවනා මුවෙක් හට දැනුනද දැඩි     වෙහෙසක්
දැණුනා මිරිගුවත් දිය පිරි නීල              විලක්

නොදැක ඉන්න බැරි විටකදි නුඹව    නගේ
සිතුනේ නුඹ මලයි මම එහි සුවද        වගේ
සිහිනය තුරුලු කර ගෙන මම හිටියෙ අගේ
හැරදා ගියාදෝ සුන්දර ආලෙ             මගේ

Tuesday, May 10, 2016

මට ආසයි

අදුරු අහස එලිය කරන
පුන්සද සොරකම් කරමින
සදරැස් පොද ආදරයෙන්
ඔබට දෙන්න මට ආසයි

දහවලකදි නොපෙනී යන
මේඝ අතර සැරිසරමින්
තරු මල් ටික ආදරයෙන්
ඔබට දෙන්න මට ආසයි

නෙලුම් විලේ පාරු පැදන්
ආදරයෙන් කතා කියා
ඔබත් සමග පාරුව පැද
ඉන්නට මට හරි ආසයි

නිල් මානෙල් කඩ දෙමින්
හිනැහෙනවිට ආදරයෙන්
සීතල වතුරෙන් ඔබවත්
නාවන්නට මට ආසයි

සිහින් දිගටි වූ දෙනෙතින්
ඔබ මා දෙස බලනා සද
හැම විට ඔබ ලගට වෙලා
බලා ඉන්න මට ආසයි

Friday, May 6, 2016

ඉගුරුයි මිරිසුයි එක වග නොදැනුනාට හඩපල්ලා

ලොක්කන් ලග වැඩ කරනා සොක්කනි මෙය   අහපල්ලා
ඇත්තක්නම් එයට හේතු කිම්ද කියා             සොයපල්ලා
දුප්පත් කමත් වලිගය නැති ගොනකු වැනිය      හිතපල්ලා
උගේ වලිගේ නැති කෙරුවේ මොකා කියා   හොයපල්ලා

සුර පුර ඇති කර දෙන බොරු බේගලයට                  රැවටීලා
කුකුලා අතේ තබාගෙනම චන්ද පොලට                පලයල්ලා
නමට කෙලින් ඇති කොටුවේ කතිරයකුත්             ගහපල්ලා
පහු පහු වෙනකොට කොහු කොහු වෙන එක ගැන හිතපල්ලා

චන්දෙට කලින් ඔබ පසුපස හිගා යදිති      බලපල්ලා
චන්දෙන් පසු වාගෙයි යම ලොව ඉන්නා   යමපල්ලා
උනුත් එකයි මුනුත් එකයි දැන් තව පසු    තැවියල්ලා
ඉගුරුයි මිරිසුයි එක වග නොදැනුනාට      හඩපල්ලා

Tuesday, May 3, 2016

ජීවිත

දිනය - 2016- 05- 02
වේලාව - පස්වරු 1.30
ස්ථානය - කුරුණෑගල පුවක්ගස් හන්දියේ මීගමු පාරේ කහ ඉර අසළ.

මේ දිනවල කුරුණෑගලට ඉර ඇත්තේ අතේ දුරින් යැයි පැවසුවාට වරදක් නැත. ඒ තරමටම ' පට්ට අව්ව 'ය. සවස් කාලයට වැහි දෙවියන් පොලොවට කඩා පැන්නද දිවාකල එහි සේයාවක්වත් නැත. වාහන තදබදය, වාහන ශබ්දය ආදිය මගී විඩාව තවතවත් වැඩි කරවයි.

මම කහඉර අසලට පැමිණියේ පාරේ අනිත්පස ඇති උපතැපැල් කර්යාලයට යාමට සිතාගෙනයි. මැදිවියේ පසුවෙන යුවලක් එකිනෙකාගේ අත් අල්ලාගෙන ඒ මේ අත බලමින් පාර මාරුවීමට නොහැකිව හිද මා එතැනට ගිය පසු මා දෙස බැලුවේ ' අපිට පාර පැනගන්න උදව්කරන්න පුතේ ' කියන්නාක් මෙනි. විනාඩි කිහිපයකට පසුව මට ඔවුන් දෙදෙනාත් සමගින් පාර මාරුවීමට හැකිවිය.

' පුතාට පිං. අපි MOH එකට ආවා, මේ  මහත්තයාට බෙහෙත් ගන්න.
' ඇයි අම්මේ, ගෙදර වෙන කවුරුත් නැද්ද එක්කන් එන්න ? '
' දුවලා දෙන්නෙක් ඉන්නවා. එයාලා බැදලා. මාසෙකට වතාවක් ඇවිත් අපිව බලලා වියදමට සල්ලි දීලා යනවා. ඉතින් තවත් එයාලට කරදර කරන්න බැහැනේ. අපි යන්නං පුතේ '

තාත්තා එසේ පැවසුවේ  සුරතින් නලළේ දහඩිය පිස දමමින්.

දෙදෙනාම අතිනත අල්ලාගෙන හෙමින් හෙමින් ලය රෝහල දෙසට යන අයුරු බලා සිටි මම ඒ අසලම පිහිටි තැපල් කාර්යාලයට ගොස් මගේ රාජකාරිය කරගත්තෙමි. ඔවුන් දෙදෙනාගෙන් ඉගෙනගත හැකි අපූරු දෙයක් මෙසේ සටහන් කිරීමට මට සිතුනේය. එය නම් ' සෙනෙහසයි '. වෙනස් නොවන අවංක සෙනෙහස මම ඔවුන් දෙදෙනාගෙන් දුටුවෙමි.

' සැරයටියෙන් අපි යනෙන තුරා සංසාරේ අපි එකට ඉමු...'

විජය කුමාරතුංගයන් සමග චන්ද්‍රලේඛාවන් හරි අපූරුවට ගැයූ ඒ ගීතය මට සිහිවූයේ ක්ෂණිකවය. සැරයටියක් නැතත් ඔවුන් දැන් මහලුය. එහෙත් ඔවුන්ගේ ආදරය, ලෙංගතුකම සේම සැමියාට බිරිදට ඇති පිලිගැනීම ආදිය තවමත් තරුණය. වත්මන් පරපුරේ අපට බොහෝවිට නැත්තේද මෙම ගුනාංගය නොවේද ?. එවන් තත්වයකදී මොවුන් දෙදෙනාගෙන් අපට ගතහැකි ආදර්ශය සුලුපටු නොවනු ඇත.

එසේම සිතන්නට තවත් දෙයක් ඇත. එනම් තරුණ අප, අපේ දෙමව්පියන් පිලිබදව සොයා බලනවාද ? එසේනම් ඒ සොයා බැලීම ප්‍රමාණවත්ද යන්නයි. මුදල් පසුපස දුවන සමාජයක අප කවුරුත් කාර්යබහුල බව සැබෑය. එහෙත් අපි අපේ දෙමව්පියන්ගෙන් ඈත් වී සිටියි නම් දිනපතා දුරකථනයෙන් ඔවුන්ට කතා කිරීමට හැකිය. ඔවුන්ගේ සුවදුක් විමසා සිටිය හැකිය. එසේ කරන පිරිස් අප අතර නැතුවා නොවෙයි. එය අපට සුලු දෙයක් වුවත් අපේ දෙමව්පියන්ට එය මහමෙරක්ය.
' අම්මේ . තාත්තේ ' යන අපේ ඇමතීමද ඔවුන්ගේ සිතට සහනයක් ගෙන දෙනු ඇත. තමන් තනිවී නැති බව ඔවුන්ට වැටහෙනු ඇත. එතුලින් ඔවුන්ට සතුටත් නිරෝගී බවත් ලැබෙනු ඇත.

ඉතින් ටිකක් සිතන්න.

ජීවිත සොයා යන මේ ගමනේදී තවත් ජීවිතයක් මුනගැසෙන තුරු

ජයවේවා ! ! !   

Thursday, April 28, 2016

මැයි දින පණිවිඩය ගෙන යමු නව ලෙසකින්....

නෙතට පෙනෙන මැයි මල් හිනැහෙන  මහක
රතට රතේ සරසාගෙන පෙලට               එක
ගතට වෙර යොදා වෙහෙසෙන අපේ       දුක
හිතට නොගෙන සමරයි උන් ඇයි       කුහක

පවුරු වගේ රට නන්වන්නේ            අපිමයි
දෙඋරු ශක්තියෙන් වෙහෙසෙන්නේ අපිමයි
කවුරු දෙඩෙව්වත් දුක දන්නේ         අපිමයි
සිවුරු බෙදා ආසිරි ගන්නේ             උන්මයි

නොකා කිඹුල් කදුලක් අප නමින්      සලයි
විකා නොනැවතී අපෙ සාරෙත් උරා    දමයි
යකාගෙනුත් වැඩ ගත හැකි උන්      කදිමයි
මොකා දෙඩෙව්වත් එක වල්ලේ පොල්මයි

ප්‍රීති කරන්නට කම්කරු අප දුකින්   මුදා
නීති දෙසයි අප ඉදිරියේ හොදින්     හදා
ජාති බේද නැති අපි බොරු වලට යොදා
පාති රැගුම් කා බී උන් හොදින්       නිදා

අපේ ශක්තියෙන් රට ගොඩ නැන්වෙන්නේ
අපේ දහිරියෙන් කම්හල් ටික    රැකගන්නේ
අපේ මනු දමෙන් නෑ තව          ඉවසන්නේ
අපේ අයිතියෙන් ඇයි රින්ගා         දුවන්නේ

සහෝදර මගේ කම්කරුවනි හොයපල්ලා
අහෝ තවත් දුක් ඇති තැන්  සොයපල්ලා
පොහෝ දිනක් වුව එක් වී        හිදපල්ලා
බොහෝ දුරක් යා යුතුවෙයි    දැනගල්ලා

කයියට නෙවෙයි හඩ දෙන්නේ හද පතුලෙන්
නයි ටික දෙපත් පන්නාලා හොද     ජවයෙන්
ඇයි බැරි, අපිත් එක් වීලා දැඩි        සවියෙන්
මැයි දින පණිවිඩය ගෙන යමු නව ලෙසකින්....

Wednesday, April 27, 2016

කම්කරු දින හයිකුව

සපැමිණ   මැතිදා   මැයි   දින   රැළියට
අපිළිවෙලට,   ඇවිස්සුණු   පලසට   ඔහු   රවමින්   දත්මිටි   කෑවේය.
' මේක   හැදූ   එකා   අහුවුනොතින්,   උගේ.....'



 

Monday, April 25, 2016

කවි කියන්න අසයි මට

දුහුලු මලක මල් පෙති මත
තැවරුනු මුදු සුමුදු සුවද

හිත පුරාම විද ගන්නට
සදා කල්හි එක විලසට

රේණුව අග පරාග සේ
පිරිලා ඇති සොදුරු සිහින

මද සුලගේ පාව යන්න
ඉඩ හරිනෙමි හෙමින් සැරේ

පාට පාට පෙති විහිදුන
රෝස කුසුම් ලග හිදගෙන

පෙති මත ඇති සුමුදු පහස
පිරිමදිමින සැහැල්ලුවට

රෝස සුවදෙ අනන්තයට
පිය නගනා මොහොතකදී

ආදරයට නුඹ සිහිකර
කවි කියන්න අසයි මට

Friday, April 22, 2016

රන් දහඩිය

වෙල් යායට වක්කඩකින් ගලා එන්නේ රන්     දහඩිය
නිසරු පසට ඉවසීමෙන් සාරේ දුන්නෙ රන්      දහඩිය
පැල ගොයමට නිල් පාටින් පාට දෙන්නෙ රන් දහඩිය
අපේ හෙටට පැතුම් අරන් කිරි වදින්නෙ රන්    දහඩිය

කන්නාඩිය පාලු කරට හොරෙන් බලා සිනා       සලයි
වෙන්දේසිය ඔප්පුව හෙට ගිල ගන්නට මාන      බලයි
පින්හාමිය නයක් දුන්නෙ ගිනි පොලියත් ගෙයට උසයි
තුන්කාලය කොත්තමල්ලි වීදුරුවත් හොදට       හුරුයි

වැස්සට කලින් අව්වට දා වී ටික වේලා    ගනිල්ලා
හස්ති රැලට ගේ බිදලා කාලා යන්න ඉඩ  දියල්ලා
ඉස්සර වගෙ සහතික මිල නැතිනම් කෑ  ගසපල්ලා
අස්වැන්නට ගිනි තියලා ඒ මතටම      පැනපල්ලා

Thursday, April 21, 2016

යළි එන්නේ නැත

පිරුනු පුලුන් ගුලියක් වන් උගේ  පෙනුම
නැමුණු කන් දෙකේ සුරතල් බව   කදිම
තැවුණු සිතේ මට වද දෙනවා        තාම
රැදුණු මතක අමතක කරලන්නේ කෝම

තාමත් ඇත මතකෙ ඌ දුටු පළමු         දින
හාමත් වෙලා හන්දියෙ හිද ගෙන       බුරන
නාවත් මා වෙතට මම එතැනට ගිය සැණින
කීවත් මොකද ඌ වෙත මා වශී           වුන

අතට අරන් මම ගෙදරට ගිය             දවස
හොදට නහවලා කන්නට දුනි           විගස
යසට දැගලුවා නොපෙනුනි උගෙ වෙහෙස
හිතට නැගුණු 'වයිටා' දුනි නමක්      ලෙස

මළානික පෙනුම දවසින් උගෙ නැති වුවා
බලා ඉදිද්දී වයිටා හැඩි දැඩි             වූවා
සලා දෙකන් මා හා සුරතල්             වූවා
පලා ගියොත් සතුටක් නම් මට    නැතුවා

නිතර මා සමග පාසැල වෙත    එන්නා
නතර නොවී නැවතත් නිවසට  යන්නා
වැතිර සාලයේ මා එනතුරු      ඉන්නා
මිතුර නුඹයි මාගේ අමතක නොවෙනා

මා පාසැලට ගිය දිනයක නිවස        වෙත
මාවතේ එද්දි ඌ හැප්පිලා                ඇත
මා හට නොහැක වළකන්නට කදුළු නෙත
මා හැඩුවත් වයිටා යළි එන්නේ        නැත

Monday, April 18, 2016

නිම්නයක හුදෙකලා වී

සිහින සිතුවම් මණ බැදී
සියලු දේ මතකයේ නොවී
සිනාසෙන්නට මට බැරී
නිම්නයක හුදෙකලා වී

නුඹෙ හිනාවම මට වටී
නුඹේ හඩට මා වී වශී
මා පැතූ නුඹ ළග නැතී
නිම්නයක හුදෙකලා වී

ඉමක් නොමැතිව ළතැවෙවී
සුසුම් පොද හා හාද වී
කදුලු කැට නෙතගින් පනී
නිම්නයක හුදෙකලා වී

නුඹයි මාගේ අමරණී
ජීවිතේ හිමිකරුවා කී
නුඹද නැත මා පමණකී
නිම්නයක හුදෙකලා වී

සැදූ මාළිග අහසෙහී
විමන් දා හැඩ වැඩ වුනී
සියල්ල දෙදරා දැන් නැතී
නිම්නයක හුදෙකලා වී

නිම්නයක හුදෙකලා වී
පිපී නැලවෙන සුවදැතී
කුසුම හා මා පමණකී
නිම්නයක හුදෙකලා වී

Friday, April 15, 2016

ලක් පොලොවේ

ලක් පොලොවේ ඉපදෙන්නට පින ඇතුවා 
ලක් පොලොවේ හුස්මක් ගන්නට බැරුවා
ලක් පොලොවේ ජීවත් වෙන්නට නැතුවා
ලක් පොලොවේ පනනහගන්නට සිතුවා

අපට කොහෙද සැනසිල්ලක් 
විසදුම් නැති ඉඩොරයක්
ඇඩුවත් උක් නෑ වෙනසක්
උණුවෙන්නට කො පපුවක්

අපගේ මස් තවත් නොකව්
දහඩිය ලේ උරා නොගව්
සැනසිල්ලේ ඉන්න දියව්
බැරිනම් අප මරා දමව්

Sunday, April 10, 2016

සුබ පතමු හිනැහිලා

කෑ ගසයි කොකිලා
ටීවි පෙට්ටියේ හිරවෙලා
මැදින් මහ නිමවෙලා
අවුරුදුත් ළන්වෙලා

රත් ඇදුම් දවටලා
හිටියෙ පෙර හිනැහිලා
එරබදුව හැන්ගිලා
අප හැමට අමතක වෙලා

සුවද හැම තැන පතුරලා
හෙළ රසින් සරුවෙලා
කැවිලි ටික පන්නලා
කේක් බිස්ක්ට් රජවෙලා

ගෙදෙර හැම එක්වෙලා
නව වසර ආසිරි සලා
කිරි ටිකක් උතුරලා
සුබ පතමු හිනැහිලා

Friday, April 8, 2016

බලා ඉන්නවද

පීදී එන රන් බලපොරොත්තුව හිතේ හිර කරන් අසීරුවෙන්
නොඉදුල් කදුලක් නලියා එන විට උණුහුම විදගෙන හෙමින් හෙමින්
අරුණේ විහිදෙන ළා රැස් අතරින් කිරි ගොයමේ සුවදද විදිමින්
වක්කඩ වතුරෙන් දෙපා දොවා ගෙන නියර දිගේ නිති ඇවිද යමින්
පිණි තැවරුණු ගුරු පාර වසා ඇති ඇහැළ ගහේ කහ මල් කඩමින්
දෙවැට දිගේ අතු ඉති විහිදී ගිය කරඹ ගෙඩියකත් රස බලමින්
දුහුවිලි සුවදින් නැයැවුණු පාරේ කොනකට වී හිද තුරු සෙවනින් 
මා එන තුරු නුඹ බලා ඉන්නවද පාර පුරාවට නෙත යොමමින්