Thursday, April 28, 2016

මැයි දින පණිවිඩය ගෙන යමු නව ලෙසකින්....

නෙතට පෙනෙන මැයි මල් හිනැහෙන  මහක
රතට රතේ සරසාගෙන පෙලට               එක
ගතට වෙර යොදා වෙහෙසෙන අපේ       දුක
හිතට නොගෙන සමරයි උන් ඇයි       කුහක

පවුරු වගේ රට නන්වන්නේ            අපිමයි
දෙඋරු ශක්තියෙන් වෙහෙසෙන්නේ අපිමයි
කවුරු දෙඩෙව්වත් දුක දන්නේ         අපිමයි
සිවුරු බෙදා ආසිරි ගන්නේ             උන්මයි

නොකා කිඹුල් කදුලක් අප නමින්      සලයි
විකා නොනැවතී අපෙ සාරෙත් උරා    දමයි
යකාගෙනුත් වැඩ ගත හැකි උන්      කදිමයි
මොකා දෙඩෙව්වත් එක වල්ලේ පොල්මයි

ප්‍රීති කරන්නට කම්කරු අප දුකින්   මුදා
නීති දෙසයි අප ඉදිරියේ හොදින්     හදා
ජාති බේද නැති අපි බොරු වලට යොදා
පාති රැගුම් කා බී උන් හොදින්       නිදා

අපේ ශක්තියෙන් රට ගොඩ නැන්වෙන්නේ
අපේ දහිරියෙන් කම්හල් ටික    රැකගන්නේ
අපේ මනු දමෙන් නෑ තව          ඉවසන්නේ
අපේ අයිතියෙන් ඇයි රින්ගා         දුවන්නේ

සහෝදර මගේ කම්කරුවනි හොයපල්ලා
අහෝ තවත් දුක් ඇති තැන්  සොයපල්ලා
පොහෝ දිනක් වුව එක් වී        හිදපල්ලා
බොහෝ දුරක් යා යුතුවෙයි    දැනගල්ලා

කයියට නෙවෙයි හඩ දෙන්නේ හද පතුලෙන්
නයි ටික දෙපත් පන්නාලා හොද     ජවයෙන්
ඇයි බැරි, අපිත් එක් වීලා දැඩි        සවියෙන්
මැයි දින පණිවිඩය ගෙන යමු නව ලෙසකින්....

Wednesday, April 27, 2016

කම්කරු දින හයිකුව

සපැමිණ   මැතිදා   මැයි   දින   රැළියට
අපිළිවෙලට,   ඇවිස්සුණු   පලසට   ඔහු   රවමින්   දත්මිටි   කෑවේය.
' මේක   හැදූ   එකා   අහුවුනොතින්,   උගේ.....'



 

Monday, April 25, 2016

කවි කියන්න අසයි මට

දුහුලු මලක මල් පෙති මත
තැවරුනු මුදු සුමුදු සුවද

හිත පුරාම විද ගන්නට
සදා කල්හි එක විලසට

රේණුව අග පරාග සේ
පිරිලා ඇති සොදුරු සිහින

මද සුලගේ පාව යන්න
ඉඩ හරිනෙමි හෙමින් සැරේ

පාට පාට පෙති විහිදුන
රෝස කුසුම් ලග හිදගෙන

පෙති මත ඇති සුමුදු පහස
පිරිමදිමින සැහැල්ලුවට

රෝස සුවදෙ අනන්තයට
පිය නගනා මොහොතකදී

ආදරයට නුඹ සිහිකර
කවි කියන්න අසයි මට

Friday, April 22, 2016

රන් දහඩිය

වෙල් යායට වක්කඩකින් ගලා එන්නේ රන්     දහඩිය
නිසරු පසට ඉවසීමෙන් සාරේ දුන්නෙ රන්      දහඩිය
පැල ගොයමට නිල් පාටින් පාට දෙන්නෙ රන් දහඩිය
අපේ හෙටට පැතුම් අරන් කිරි වදින්නෙ රන්    දහඩිය

කන්නාඩිය පාලු කරට හොරෙන් බලා සිනා       සලයි
වෙන්දේසිය ඔප්පුව හෙට ගිල ගන්නට මාන      බලයි
පින්හාමිය නයක් දුන්නෙ ගිනි පොලියත් ගෙයට උසයි
තුන්කාලය කොත්තමල්ලි වීදුරුවත් හොදට       හුරුයි

වැස්සට කලින් අව්වට දා වී ටික වේලා    ගනිල්ලා
හස්ති රැලට ගේ බිදලා කාලා යන්න ඉඩ  දියල්ලා
ඉස්සර වගෙ සහතික මිල නැතිනම් කෑ  ගසපල්ලා
අස්වැන්නට ගිනි තියලා ඒ මතටම      පැනපල්ලා

Thursday, April 21, 2016

යළි එන්නේ නැත

පිරුනු පුලුන් ගුලියක් වන් උගේ  පෙනුම
නැමුණු කන් දෙකේ සුරතල් බව   කදිම
තැවුණු සිතේ මට වද දෙනවා        තාම
රැදුණු මතක අමතක කරලන්නේ කෝම

තාමත් ඇත මතකෙ ඌ දුටු පළමු         දින
හාමත් වෙලා හන්දියෙ හිද ගෙන       බුරන
නාවත් මා වෙතට මම එතැනට ගිය සැණින
කීවත් මොකද ඌ වෙත මා වශී           වුන

අතට අරන් මම ගෙදරට ගිය             දවස
හොදට නහවලා කන්නට දුනි           විගස
යසට දැගලුවා නොපෙනුනි උගෙ වෙහෙස
හිතට නැගුණු 'වයිටා' දුනි නමක්      ලෙස

මළානික පෙනුම දවසින් උගෙ නැති වුවා
බලා ඉදිද්දී වයිටා හැඩි දැඩි             වූවා
සලා දෙකන් මා හා සුරතල්             වූවා
පලා ගියොත් සතුටක් නම් මට    නැතුවා

නිතර මා සමග පාසැල වෙත    එන්නා
නතර නොවී නැවතත් නිවසට  යන්නා
වැතිර සාලයේ මා එනතුරු      ඉන්නා
මිතුර නුඹයි මාගේ අමතක නොවෙනා

මා පාසැලට ගිය දිනයක නිවස        වෙත
මාවතේ එද්දි ඌ හැප්පිලා                ඇත
මා හට නොහැක වළකන්නට කදුළු නෙත
මා හැඩුවත් වයිටා යළි එන්නේ        නැත

Monday, April 18, 2016

නිම්නයක හුදෙකලා වී

සිහින සිතුවම් මණ බැදී
සියලු දේ මතකයේ නොවී
සිනාසෙන්නට මට බැරී
නිම්නයක හුදෙකලා වී

නුඹෙ හිනාවම මට වටී
නුඹේ හඩට මා වී වශී
මා පැතූ නුඹ ළග නැතී
නිම්නයක හුදෙකලා වී

ඉමක් නොමැතිව ළතැවෙවී
සුසුම් පොද හා හාද වී
කදුලු කැට නෙතගින් පනී
නිම්නයක හුදෙකලා වී

නුඹයි මාගේ අමරණී
ජීවිතේ හිමිකරුවා කී
නුඹද නැත මා පමණකී
නිම්නයක හුදෙකලා වී

සැදූ මාළිග අහසෙහී
විමන් දා හැඩ වැඩ වුනී
සියල්ල දෙදරා දැන් නැතී
නිම්නයක හුදෙකලා වී

නිම්නයක හුදෙකලා වී
පිපී නැලවෙන සුවදැතී
කුසුම හා මා පමණකී
නිම්නයක හුදෙකලා වී

Friday, April 15, 2016

ලක් පොලොවේ

ලක් පොලොවේ ඉපදෙන්නට පින ඇතුවා 
ලක් පොලොවේ හුස්මක් ගන්නට බැරුවා
ලක් පොලොවේ ජීවත් වෙන්නට නැතුවා
ලක් පොලොවේ පනනහගන්නට සිතුවා

අපට කොහෙද සැනසිල්ලක් 
විසදුම් නැති ඉඩොරයක්
ඇඩුවත් උක් නෑ වෙනසක්
උණුවෙන්නට කො පපුවක්

අපගේ මස් තවත් නොකව්
දහඩිය ලේ උරා නොගව්
සැනසිල්ලේ ඉන්න දියව්
බැරිනම් අප මරා දමව්

Sunday, April 10, 2016

සුබ පතමු හිනැහිලා

කෑ ගසයි කොකිලා
ටීවි පෙට්ටියේ හිරවෙලා
මැදින් මහ නිමවෙලා
අවුරුදුත් ළන්වෙලා

රත් ඇදුම් දවටලා
හිටියෙ පෙර හිනැහිලා
එරබදුව හැන්ගිලා
අප හැමට අමතක වෙලා

සුවද හැම තැන පතුරලා
හෙළ රසින් සරුවෙලා
කැවිලි ටික පන්නලා
කේක් බිස්ක්ට් රජවෙලා

ගෙදෙර හැම එක්වෙලා
නව වසර ආසිරි සලා
කිරි ටිකක් උතුරලා
සුබ පතමු හිනැහිලා

Friday, April 8, 2016

බලා ඉන්නවද

පීදී එන රන් බලපොරොත්තුව හිතේ හිර කරන් අසීරුවෙන්
නොඉදුල් කදුලක් නලියා එන විට උණුහුම විදගෙන හෙමින් හෙමින්
අරුණේ විහිදෙන ළා රැස් අතරින් කිරි ගොයමේ සුවදද විදිමින්
වක්කඩ වතුරෙන් දෙපා දොවා ගෙන නියර දිගේ නිති ඇවිද යමින්
පිණි තැවරුණු ගුරු පාර වසා ඇති ඇහැළ ගහේ කහ මල් කඩමින්
දෙවැට දිගේ අතු ඉති විහිදී ගිය කරඹ ගෙඩියකත් රස බලමින්
දුහුවිලි සුවදින් නැයැවුණු පාරේ කොනකට වී හිද තුරු සෙවනින් 
මා එන තුරු නුඹ බලා ඉන්නවද පාර පුරාවට නෙත යොමමින්