Friday, May 27, 2016

පලා යන ඒ සොදුරු සෙනෙහස

කදුලු පිරි මේ පුංචි නුවන් යුග
නිමක් නොමැති නිලඹරට යොමා
දුහුල් හිතකින් වාව ගන්නේ
කෙලෙසදෝ ලතැවුල් සැමා
වහන් වෙමින් යලි උණන විටදී
දෙනෙත් කෙලවර කදුලු තෙමා
නිදහසේ කොපුලකට තුරුල් වී
ගලා යන්නට හරිමි මා.....

දූලි සුවදට නව පණක් දී
විසිරි යන්නට ඉඩ තබා
වැටෙන වැහි පොද හිතුමතේ විත්
නටයි පෙන්වා රග සොබා
සිසිලසට දැන් හිතේ තැන් නැත
උණුහුමට එම තැන තබා
පලා යන ඒ සොදුරු සෙනෙහස
සොයා යයි මා සිත හඹා.....

පාසලේදී අකුරු කෙරුවේ
අඹ සෙවන යට මග බලා
මතක මාලිග මකා දැමුවද
සොදුරු හදවත රිදවලා
ඈත් වූවද සුවද අරගෙන
මගේ ලෝකයම නවතලා
කුරිරු වෙස් ගෙන පිපෙනු හැකිදෝ
කැකුලකට සෙනෙහස සලා.....

Tuesday, May 24, 2016

වරෙන් පුතේ යලි මේ රට රැක ගන්න

පාලකයින්ගේ කලු සුදු රුව දුටුව පුතේ
අයුක්තියට පන්හිද ලස්සනයි පුතේ
පීඩිත ලොවක කදුලැලි රැක දුන්නු පුතේ
නුඹ නැති වුනත් නාමය වටිනවා පුතේ

දූෂිත රටක් නැත එය වදනින් පමණයි
අල්ලස් වගුරේ මඩ පිරිලා දෝරේ ගලයි
හැම මොහොතෙම ලෙළදුන්නේ පන්හිදමයි
පුතු නැති රටට පාලකයින්ගේ සරණයි

කටින් බතල සිටුවා රට කරවන්න
උන් දගලන්නේ හොදි ටික බොර කරගන්න
හුස්මක් වැටේනම් ලක් මව රැකගන්න
දිනය අත ලගයි කලගුණ සලකන්න

කාලය ගෙවී යනවා බෑ ඉවසන්න
උඹෙ මග අවුරලා උන් යහතින් ඉන්න
ලක් පොලොවයි උඹේ මවයි තුටු වෙන්න
වරෙන් පුතේ යලි මේ රට රැක ගන්න

Tuesday, May 17, 2016

අරණායකට සරණක්

පැවති අවපීඩන තත්වය දකුණු ඉන්දියාව දක්වා පැතිරීමට ආරම්භ වීමත් සමගම දිවයිනේ පැවති අයහපත් කාලගුණය මේ වන විට ක්‍රමක්‍රමයෙන් පහ වී යන අයුරු අද උදේ වන විට දැකගන්නට ලැබුණි. දින කිහිපයක් තිස්සේ බලාපොරොත්තු වූ හිරු රැස් අද උදයේම පොලෝ තලයට වැටී තිබීම සතුටට කරුනක්. අයහපත් කාලගුණයෙන් අනෙක් ප්‍රදේශ වලට සාපේක්ෂව අඩු බලපෑමක් ඇති නගරයකි, කුරුණෑගල. එවන් නගරයක ජීවත් වුවත් අවට නගරවල දකින්නට අසන්නට ලැබෙන ආපදා තත්වයන් හමුවේ කම්පා නොවී සිටිය හැක්කේ කෙසේද ?

මෙහිදී විශේෂයෙන්ම අප කාගේත් මතකයට නැගෙන්නේ 'අරණායක' ඛේදවාචකයයි. එම ඛේදවාචකය සිදුවූ අයුරු පිලිබදව තොරතුරු, සටහනක් ලෙස මෙහි තැබීමට අදහස් නොකරන්නේ එය පිළිබදව නොදන්නා කෙනෙක් සිටිය නොහැකි නිසාය.

එහි අවතැන් වී සිටින අපේම ජනතාවට අපිට හැකි අයුරින් පිහිටක් වීමට හැකිනම් එය කෙතරම් උතුම්ද ?

උදාවන්නේ වෙසක් සමයයි. දාන, ශීල, භාවනා ආදී වැඩසටහන්වලින් පිරී ඉතිරී යන වෙසක් මාසයයි. දන්සැල් පවත්වා හිතේ හැටියට ප්‍රීතිවන වෙසක් මාසයයි.
ඉතින් අපේම පිරිසක් අරණායක දුක්සුසුම් හෙලනවිට අපි ප්‍රීතිවී සිටීන්නේ කෙසේද? අපිට අන්ධ, ගොලු, බිහිරි ලෙස සිටිය හැකිද ?
මදක් සිතන්න.

ඔබ දැනටමත් දන්සැලක් පවත්වන්නට කටයුතු සන්විධානය කර තිබෙන්නට පුලුවන. එහෙත් ඔබ තවමත් පමා නැත. ඔබ එක් කරගත් දෙයින් අරණායකට සරණක් වීමට හැකිනම් හොදයි නේද? මෙය ඔබ මා කියන නිසාවත් හෝ පින් බලාපොරොත්තුවවත් හෝ නොව ඔබේ හිතට එකගව සිදුකරන්න. යම හොද දෙයක් කිරීමෙන් අපේ හිතට සතුටක් සැනසීමක් ලැබෙනවානම් ඊට එහා පිනක් අවශ්‍ය නැත.  මදක් සිතන්න.

කාර්යාලයේ වැඩ අතරේ ඉක්මනින්ම මෙය සටහන් කිරීම නිසා වචන ගැලපීම නිවැරදි නොවේනම් සමාවන්න. අවශ්‍ය වනුයේ ඔවුන්ට සහනයක් වීම පමණකි.

ජයවේවා !!!   

Friday, May 13, 2016

මම රැවටුනා ඔය සුන්දර හිනාවට

හීන් හඩින් නුඹ අමතන              කතාවට
වසග වුනා ඔය සුන්දර                ලතාවට
තොල් පෙති අතර දිලිසෙන මුතු මනාවට
මම රැවටුනා ඔය සුන්දර             හිනාවට

මතකය සුන්දරයි සිහිවෙන විටදි බිදක්
සතුට දරන්නට බෑ හදවතට    ගොඩක්
පළමු වතාවට මා නුඹ දුටුවෙ     දිනක්
සුවද සලා පිපී තිබෙන ඇහළ     මලක්

වැඩුනා සතුට නුඹ මා ලග ඉද්දි        ගොඩක්
ලැබුණා වගෙයි කතරට මල් වැස්සේ පොදක්
දුවනා මුවෙක් හට දැනුනද දැඩි     වෙහෙසක්
දැණුනා මිරිගුවත් දිය පිරි නීල              විලක්

නොදැක ඉන්න බැරි විටකදි නුඹව    නගේ
සිතුනේ නුඹ මලයි මම එහි සුවද        වගේ
සිහිනය තුරුලු කර ගෙන මම හිටියෙ අගේ
හැරදා ගියාදෝ සුන්දර ආලෙ             මගේ

Tuesday, May 10, 2016

මට ආසයි

අදුරු අහස එලිය කරන
පුන්සද සොරකම් කරමින
සදරැස් පොද ආදරයෙන්
ඔබට දෙන්න මට ආසයි

දහවලකදි නොපෙනී යන
මේඝ අතර සැරිසරමින්
තරු මල් ටික ආදරයෙන්
ඔබට දෙන්න මට ආසයි

නෙලුම් විලේ පාරු පැදන්
ආදරයෙන් කතා කියා
ඔබත් සමග පාරුව පැද
ඉන්නට මට හරි ආසයි

නිල් මානෙල් කඩ දෙමින්
හිනැහෙනවිට ආදරයෙන්
සීතල වතුරෙන් ඔබවත්
නාවන්නට මට ආසයි

සිහින් දිගටි වූ දෙනෙතින්
ඔබ මා දෙස බලනා සද
හැම විට ඔබ ලගට වෙලා
බලා ඉන්න මට ආසයි

Friday, May 6, 2016

ඉගුරුයි මිරිසුයි එක වග නොදැනුනාට හඩපල්ලා

ලොක්කන් ලග වැඩ කරනා සොක්කනි මෙය   අහපල්ලා
ඇත්තක්නම් එයට හේතු කිම්ද කියා             සොයපල්ලා
දුප්පත් කමත් වලිගය නැති ගොනකු වැනිය      හිතපල්ලා
උගේ වලිගේ නැති කෙරුවේ මොකා කියා   හොයපල්ලා

සුර පුර ඇති කර දෙන බොරු බේගලයට                  රැවටීලා
කුකුලා අතේ තබාගෙනම චන්ද පොලට                පලයල්ලා
නමට කෙලින් ඇති කොටුවේ කතිරයකුත්             ගහපල්ලා
පහු පහු වෙනකොට කොහු කොහු වෙන එක ගැන හිතපල්ලා

චන්දෙට කලින් ඔබ පසුපස හිගා යදිති      බලපල්ලා
චන්දෙන් පසු වාගෙයි යම ලොව ඉන්නා   යමපල්ලා
උනුත් එකයි මුනුත් එකයි දැන් තව පසු    තැවියල්ලා
ඉගුරුයි මිරිසුයි එක වග නොදැනුනාට      හඩපල්ලා

Tuesday, May 3, 2016

ජීවිත

දිනය - 2016- 05- 02
වේලාව - පස්වරු 1.30
ස්ථානය - කුරුණෑගල පුවක්ගස් හන්දියේ මීගමු පාරේ කහ ඉර අසළ.

මේ දිනවල කුරුණෑගලට ඉර ඇත්තේ අතේ දුරින් යැයි පැවසුවාට වරදක් නැත. ඒ තරමටම ' පට්ට අව්ව 'ය. සවස් කාලයට වැහි දෙවියන් පොලොවට කඩා පැන්නද දිවාකල එහි සේයාවක්වත් නැත. වාහන තදබදය, වාහන ශබ්දය ආදිය මගී විඩාව තවතවත් වැඩි කරවයි.

මම කහඉර අසලට පැමිණියේ පාරේ අනිත්පස ඇති උපතැපැල් කර්යාලයට යාමට සිතාගෙනයි. මැදිවියේ පසුවෙන යුවලක් එකිනෙකාගේ අත් අල්ලාගෙන ඒ මේ අත බලමින් පාර මාරුවීමට නොහැකිව හිද මා එතැනට ගිය පසු මා දෙස බැලුවේ ' අපිට පාර පැනගන්න උදව්කරන්න පුතේ ' කියන්නාක් මෙනි. විනාඩි කිහිපයකට පසුව මට ඔවුන් දෙදෙනාත් සමගින් පාර මාරුවීමට හැකිවිය.

' පුතාට පිං. අපි MOH එකට ආවා, මේ  මහත්තයාට බෙහෙත් ගන්න.
' ඇයි අම්මේ, ගෙදර වෙන කවුරුත් නැද්ද එක්කන් එන්න ? '
' දුවලා දෙන්නෙක් ඉන්නවා. එයාලා බැදලා. මාසෙකට වතාවක් ඇවිත් අපිව බලලා වියදමට සල්ලි දීලා යනවා. ඉතින් තවත් එයාලට කරදර කරන්න බැහැනේ. අපි යන්නං පුතේ '

තාත්තා එසේ පැවසුවේ  සුරතින් නලළේ දහඩිය පිස දමමින්.

දෙදෙනාම අතිනත අල්ලාගෙන හෙමින් හෙමින් ලය රෝහල දෙසට යන අයුරු බලා සිටි මම ඒ අසලම පිහිටි තැපල් කාර්යාලයට ගොස් මගේ රාජකාරිය කරගත්තෙමි. ඔවුන් දෙදෙනාගෙන් ඉගෙනගත හැකි අපූරු දෙයක් මෙසේ සටහන් කිරීමට මට සිතුනේය. එය නම් ' සෙනෙහසයි '. වෙනස් නොවන අවංක සෙනෙහස මම ඔවුන් දෙදෙනාගෙන් දුටුවෙමි.

' සැරයටියෙන් අපි යනෙන තුරා සංසාරේ අපි එකට ඉමු...'

විජය කුමාරතුංගයන් සමග චන්ද්‍රලේඛාවන් හරි අපූරුවට ගැයූ ඒ ගීතය මට සිහිවූයේ ක්ෂණිකවය. සැරයටියක් නැතත් ඔවුන් දැන් මහලුය. එහෙත් ඔවුන්ගේ ආදරය, ලෙංගතුකම සේම සැමියාට බිරිදට ඇති පිලිගැනීම ආදිය තවමත් තරුණය. වත්මන් පරපුරේ අපට බොහෝවිට නැත්තේද මෙම ගුනාංගය නොවේද ?. එවන් තත්වයකදී මොවුන් දෙදෙනාගෙන් අපට ගතහැකි ආදර්ශය සුලුපටු නොවනු ඇත.

එසේම සිතන්නට තවත් දෙයක් ඇත. එනම් තරුණ අප, අපේ දෙමව්පියන් පිලිබදව සොයා බලනවාද ? එසේනම් ඒ සොයා බැලීම ප්‍රමාණවත්ද යන්නයි. මුදල් පසුපස දුවන සමාජයක අප කවුරුත් කාර්යබහුල බව සැබෑය. එහෙත් අපි අපේ දෙමව්පියන්ගෙන් ඈත් වී සිටියි නම් දිනපතා දුරකථනයෙන් ඔවුන්ට කතා කිරීමට හැකිය. ඔවුන්ගේ සුවදුක් විමසා සිටිය හැකිය. එසේ කරන පිරිස් අප අතර නැතුවා නොවෙයි. එය අපට සුලු දෙයක් වුවත් අපේ දෙමව්පියන්ට එය මහමෙරක්ය.
' අම්මේ . තාත්තේ ' යන අපේ ඇමතීමද ඔවුන්ගේ සිතට සහනයක් ගෙන දෙනු ඇත. තමන් තනිවී නැති බව ඔවුන්ට වැටහෙනු ඇත. එතුලින් ඔවුන්ට සතුටත් නිරෝගී බවත් ලැබෙනු ඇත.

ඉතින් ටිකක් සිතන්න.

ජීවිත සොයා යන මේ ගමනේදී තවත් ජීවිතයක් මුනගැසෙන තුරු

ජයවේවා ! ! !