Tuesday, May 3, 2016

ජීවිත

දිනය - 2016- 05- 02
වේලාව - පස්වරු 1.30
ස්ථානය - කුරුණෑගල පුවක්ගස් හන්දියේ මීගමු පාරේ කහ ඉර අසළ.

මේ දිනවල කුරුණෑගලට ඉර ඇත්තේ අතේ දුරින් යැයි පැවසුවාට වරදක් නැත. ඒ තරමටම ' පට්ට අව්ව 'ය. සවස් කාලයට වැහි දෙවියන් පොලොවට කඩා පැන්නද දිවාකල එහි සේයාවක්වත් නැත. වාහන තදබදය, වාහන ශබ්දය ආදිය මගී විඩාව තවතවත් වැඩි කරවයි.

මම කහඉර අසලට පැමිණියේ පාරේ අනිත්පස ඇති උපතැපැල් කර්යාලයට යාමට සිතාගෙනයි. මැදිවියේ පසුවෙන යුවලක් එකිනෙකාගේ අත් අල්ලාගෙන ඒ මේ අත බලමින් පාර මාරුවීමට නොහැකිව හිද මා එතැනට ගිය පසු මා දෙස බැලුවේ ' අපිට පාර පැනගන්න උදව්කරන්න පුතේ ' කියන්නාක් මෙනි. විනාඩි කිහිපයකට පසුව මට ඔවුන් දෙදෙනාත් සමගින් පාර මාරුවීමට හැකිවිය.

' පුතාට පිං. අපි MOH එකට ආවා, මේ  මහත්තයාට බෙහෙත් ගන්න.
' ඇයි අම්මේ, ගෙදර වෙන කවුරුත් නැද්ද එක්කන් එන්න ? '
' දුවලා දෙන්නෙක් ඉන්නවා. එයාලා බැදලා. මාසෙකට වතාවක් ඇවිත් අපිව බලලා වියදමට සල්ලි දීලා යනවා. ඉතින් තවත් එයාලට කරදර කරන්න බැහැනේ. අපි යන්නං පුතේ '

තාත්තා එසේ පැවසුවේ  සුරතින් නලළේ දහඩිය පිස දමමින්.

දෙදෙනාම අතිනත අල්ලාගෙන හෙමින් හෙමින් ලය රෝහල දෙසට යන අයුරු බලා සිටි මම ඒ අසලම පිහිටි තැපල් කාර්යාලයට ගොස් මගේ රාජකාරිය කරගත්තෙමි. ඔවුන් දෙදෙනාගෙන් ඉගෙනගත හැකි අපූරු දෙයක් මෙසේ සටහන් කිරීමට මට සිතුනේය. එය නම් ' සෙනෙහසයි '. වෙනස් නොවන අවංක සෙනෙහස මම ඔවුන් දෙදෙනාගෙන් දුටුවෙමි.

' සැරයටියෙන් අපි යනෙන තුරා සංසාරේ අපි එකට ඉමු...'

විජය කුමාරතුංගයන් සමග චන්ද්‍රලේඛාවන් හරි අපූරුවට ගැයූ ඒ ගීතය මට සිහිවූයේ ක්ෂණිකවය. සැරයටියක් නැතත් ඔවුන් දැන් මහලුය. එහෙත් ඔවුන්ගේ ආදරය, ලෙංගතුකම සේම සැමියාට බිරිදට ඇති පිලිගැනීම ආදිය තවමත් තරුණය. වත්මන් පරපුරේ අපට බොහෝවිට නැත්තේද මෙම ගුනාංගය නොවේද ?. එවන් තත්වයකදී මොවුන් දෙදෙනාගෙන් අපට ගතහැකි ආදර්ශය සුලුපටු නොවනු ඇත.

එසේම සිතන්නට තවත් දෙයක් ඇත. එනම් තරුණ අප, අපේ දෙමව්පියන් පිලිබදව සොයා බලනවාද ? එසේනම් ඒ සොයා බැලීම ප්‍රමාණවත්ද යන්නයි. මුදල් පසුපස දුවන සමාජයක අප කවුරුත් කාර්යබහුල බව සැබෑය. එහෙත් අපි අපේ දෙමව්පියන්ගෙන් ඈත් වී සිටියි නම් දිනපතා දුරකථනයෙන් ඔවුන්ට කතා කිරීමට හැකිය. ඔවුන්ගේ සුවදුක් විමසා සිටිය හැකිය. එසේ කරන පිරිස් අප අතර නැතුවා නොවෙයි. එය අපට සුලු දෙයක් වුවත් අපේ දෙමව්පියන්ට එය මහමෙරක්ය.
' අම්මේ . තාත්තේ ' යන අපේ ඇමතීමද ඔවුන්ගේ සිතට සහනයක් ගෙන දෙනු ඇත. තමන් තනිවී නැති බව ඔවුන්ට වැටහෙනු ඇත. එතුලින් ඔවුන්ට සතුටත් නිරෝගී බවත් ලැබෙනු ඇත.

ඉතින් ටිකක් සිතන්න.

ජීවිත සොයා යන මේ ගමනේදී තවත් ජීවිතයක් මුනගැසෙන තුරු

ජයවේවා ! ! !   

10 comments:

  1. කාලයක් පුරාවට
    පෙමින් වදා හදා
    කන්නට දී රසමසවුළු
    ගතට දුහුල්
    සිතට සහන්
    ලබා දුන්
    දෙමාපියන්...
    ......
    අගේය.....මොහොතකට සමාජය වෙත සදාකාලිකව අමතක වූ යුතුකමක් යලි අනුභූතියක් තුලින් යලි මතක් කර දීම...

    ReplyDelete
    Replies
    1. එහෙමයි හාමුදුරුවනේ

      Delete
  2. ඔයාගේ පොස්ට් එක ඇතුලේ ගොඩක් දේවල් තියෙනවා හිතන්න...

    ReplyDelete
    Replies
    1. මම එච්චර දුරකට හිතුවේ නැහැ සහෝ. ඒ වෙලාවෙදී හිතට ආව දේ තමයි සටහන් කෙරුවේ. ස්තූතියි.

      ජය වේවා !

      Delete
  3. කවි වගේම මෙහෙම දෙයක් ලියන එකත් හොඳයි. කවි විතරක් තියෙන බ්ලොග්ස් නොකියවන පාඨකයොත් ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ඔය හැමදෙනාගේම අදහස් මට වටිනවා සහෝ. හැමදාමත් මට උපදෙස් දෙනවාට ගොඩාක් ස්තූතීයි.
      ජයවේවා !

      Delete
  4. වාව්.........දකින සමාජයේ නොදකින පැත්ත....මම හිතන්නෙ ඕක වැඩියෙන්ම හොදට චිත්ත රූපෙට නගා ගන්ඩ පුලුවන් මට...හැක්...හැක්...මොකද ඉහේ කෙස් ගානට ඔතනින් යනවනෙ...

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත. සමහරවිට මේ අම්මයි තාත්තයි දෙන්නාව ඔයා දකින්නත් ඇති මල්ලියේ. ලියපන් අය්යේ කියලා මාව දිරිගැන්වූවාට ස්තුතියි.
      ජය වේවා !

      Delete
  5. පුවක්ගස් හන්දිය ළඟ මගේ අතීතයේ සිදුවීම් රාශියක් සිදුවෙලා තියෙනවා

    ReplyDelete
    Replies
    1. එහෙමද? ආයිත් කුරුණෑගල ආපු දාක අපි හමු වෙමු පුවක්ගස් හන්දියේදී.

      ජයවේවා!!!

      Delete