Tuesday, June 28, 2016

සුදු අරලිය මල් පොකුරක්


'ඉහළකෝට්ටේ' නැවතුම්පොලේදී දුම් රිය නතර කරන විට සවස 6 ට ආසන්න වී තිබුණි. වැහි පොදක් දෙකක් බිම වැටුණද තවමත් සිරුරට දැනෙණුයේ උණුහුමකි. දුම් රියෙන් බැස ගත් මම වේදිකාවේ ආසනයක් මත වාඩි වීමි. පිටේ වූ බෑගය ගෙන ඉන් විදුලි පන්දමත් වතුර බෝතලයත් ගත්තෙමි. බෝතලයේ අඩකටත් අඩු වූ ජලය උගුරට දෙකට හිස් කෙරුවත් ඉන් පිපාසය පහව නොගියේය. ජංගම දුරකථනයෙන් යළිත් වරක් මානසීට ඇමතූ නමුත් සතියකට ආසන්න කාලයක් පුරාවට මෙන්ම අදත් ඇසුණේ ඇගේ දුරකථනයෙන් ප්‍රතිචාරයක් නොමැති බවයි.

අවට දැඩි අදුරකින් වැසී ඇත. යකඩයකා නැවතත් තිත්ත කලුවර දෙබෑකරෙගෙන තම ගමනාන්තය වූ මහනුවර බලා ගමනාරම්භයේ යෙදුණි. අනතුරුව මම රේල් පීල්ල මත මගේ ගමන අරම්භ කෙරුවෙමි. වැහිබර කාලගුණය නිසාම හද එළියක් නැත. කදු පල්ලම්, රූස්ස ගහ කොළ අතර හුදෙකලා වූ රේල් පාරේ ආළෝකයකට කියා ඇත්තේ විදුලි පන්දමේ ආළෝකය පමණකි. ඇද වැටෙන මල් වැස්ස, මහ වැස්සක් වීමට කලින් නවාතැනට යායුතු බැවින් මම පය ඉක්මන් කෙරුවෙමි.

හෙට අනිවාර්යෙන්ම මානසීව මුණගැසිය යුතුයි. අප දෙදෙනාගේ සම්බන්ධයට ඇගේ දෙමව්පියන්ගෙන් කැමැත්ත ලබා ගැනීමට මම එහි පැමිනෙණ බව ආරංචි වූ විට ඈට කොතරම් සතුටක් දැනෙනු ඇත්ද ? ඉතින් හෙට වනතුරු මට ඉවසා සිටීමට සිදුවේ. මේ මොහොතේ මල් වැස්ස මහ වැස්සක් බවට පත්වී ඇත. වැස්සේ තෙමීගෙන ඉදිරියට යනවා හැරෙන්න වෙන කිරීමට දෙයක් නැත. කෙසේ හෝ කෙටි බිම් ගෙවල් දෙකකුත් පහුකරමින් ඉක්මනින්ම නවාතැනට මම පැමිණියෙමි.

මසකට ආසන්න කාලයක් වසා දමා තිබූ බැවින් බෝඩිම් නිවස තුළ අතරින් පතර මකුලුදැල් වලින් පිරී තිබුණි. තෙත බරිත වූ බෑගය පුටුවට වීසි කෙරූ මම කමිසයද ගලවා දමා ඉක්මනින්ම ගේ අතුගා දැමුවෙමි. ඇදුම් සෝදා නාගෙන එන විට තවත් පැය භාගයක කාලයක් ගතවිය. අම්මා උයා දුන් බත් පාර්සලය දිග හරිද්දී නැගුන කෙහෙල් කොලේ සුවද මගේ කුසගින්න දෙගුණ තෙගුණ කරන්නට සමත්විය.

' මාත් ආසයි ඔයාගේ අම්මා උයන බත් කන්න '

'බත් කන්න විතරද....ම්..ම්...'

මානසී, ඈ යළිත් මගේ මතකයේ දග කළාය. ඒ හුරුබුහුටිය මගේ මතකයෙන් මගහරින්නේ කෙසේද ? ඒ මතකයන් සමගින්ම කෑම ගෙන අවසන්වූ මම ජනේලය අසලට විත් පාර දෙස බලා සිටියෙමි. වැස්ස අඩු වීමේ සේයාවක්වත් පෙනෙන්නට නැත. ඒ මොහොතේදී දොරට ගසන ශබ්දයක් ඇසුණු බැවින් මම ඒ දෙසට ගියෙමි.

'කව්ද?'

එහෙත් ප්‍රතිචාරයක් නැත. මගේ කෑම අරන් එන දාස මාමාවත්ද ? ඒත් මම අද මෙහි පැමිණෙන බව ඔහු දන්නේ නැත. මේ කවුරුන් විය හැකිද ? මම දොර විවර කෙරුවෙමි. පුදුමයකි. මා දකින්නට බලා සිටි ඒ රුව මා ඉදිරියේය.

'මානසී'

'ඔයාට'
ඈ දෑතේ සිරකර ගෙන සිටි සුදු අරලිය මල් පොකුරක් මා වෙත දිගු කළාය. මම එය ගන්නවාත් සමගම ඈ මා වෙතට පැන මාව වැළදගත්තාය.

'කොහේ යන ගමන්ද ? එතකොට මේ මල් ?'

'අම්මයි තාත්තයි පන්සල් ගියා. මාත් මේ පන්සල් යන ගමන්'

'ඒත් මානසී...'

ඈ මගේ දෙතොලට දබරගිල්ල තබා මගේ කතාව නතර කළාය. මම හිස සලා ඈ සමගින් පුටුවේ වාඩි වූවේ දොර වසා දමමිනි.

'අරලිය මල්. සුවදයි නේ?'

'හ්ම්'

'ලස්සනයි'

'ඔයා වගේමයි සුදු....'

මම මල් පොකුර මේසය මත තැබුවෙමි. ඈ මගේ දකුණු උරහිසට හිස තබනවාත් සමගම මම මගේ දකුණත ඇගේ ගෙල වටා දමා ගත්තෙමි. ඒ පිරුණු ලැමේ උණුහුම ඇගේ දුහුල් ගවුමෙන් පෙරි විත් මගේ නිරුවත් පපුව පුරාවටත් පසුව සිරුර පුරාවටත් ගලා ගියේ ක්ෂණිකවයි. ඒ උණුහුම් මිහිර අත්හරින්නට මටද උවමනාවක් නැත. මම තවතවත් ඇයව තුරුලුකර ගත්තෙමි.

'ජීවන'

'ම්....'

'කවද්ද එන්නේ අපේ ගෙදර'

'හෙට එනවා සුදු...'

මම ඇගේ හිස සෙමින් සෙමින් පිරිමැද්දේ නළලත සිඹින අතරේය.

'මම එනවා මගේ මැණික ඉල්ලගන්න'

'මේ ළග ඉන්නේ'

'හැමදාටම ළගට ගන්නයි ඉල්ලගන්නේ'

'ඔය ඇත්තමද ජීවන....'

'හ්...ම්....'

'ජී...ව.....න....'

මගේ අතැගිලි ඇගේ සිරුර පුරා එහා මෙහා දිවයමින් තව තවත් උණුහුමක් සෙව්වෝය. ඇගේ දුහුල් ගවුම ඊට බධාවක් නොවුණු අතර ඈ මට තව තවත් තුරුලු වූවාය. ඒ ලස්සන දෙතොල් පෙතිවල පහස මගේ දෙතොල්වලට ඇතිකළේ තවත් උනුහුමකි. මම දෑස් පියාගෙනම එම සුවය සිත් සේ වින්දෙමි. කාලය පියාඹන වේගය පිලිබදව මට හැගීමක් නැත.

දොරට ගසන ශබ්දයක් ඇසීමෙන් මම දෙනෙත් විවර කෙරුවෙමි. ඒ වන විට පහුවදා උදෑසන ආරම්භ වී තිබුණි. එහෙත් මානසි  මා ළග නොසිටියාය. තවමත් වසා නැති ජනේලයෙන් ඈ යන්නට ඇතිද ? කවුරුන් හෝ ඈව දකින්නට ඇතිද ? ප්‍රශ්න වැලකි.

'ඉස්කෝලේ මහත්තයා, ඉස්කෝලේ මහත්තයා.......'

ඒ පැමිණ ඇත්තේ දාස මාමාය.

'මේ එනවා මාමේ'

දෙනෙත් පිසදා දෑතින් කොණ්ඩය සකසාගෙන මම දොර හැරියෙමි.

'ඇතුළට එන්න මාමේ'

'ඇතුළට එන්න වෙලාවක් නෑ මහත්තයෝ. මම මේ පන්සලට හීල් දානේ දීලා එන ගමන්. පන්සල් යද්දී මම දැක්කා ජනේලය ඇරලා තියෙනවා. මං හිතුවා මහත්තයා ගමේ ගිහින් ඇවිත් ඇති කියළා. ඒකයි නිකමට වගේ ආවේ.'

'ඊයේ රෑ ආවේ දාස මාමේ. අර ඈතින් යන්නේ මානසීගේ අම්මයි තාත්තයි නේද?'

'හ්ම්. උන්දැලත් එක්ක තමයි මම පන්සලට ගියේ. හීල් දානෙත් උන්දැලාගේ. ඊයේ රෑ බණ'

'ඊයේ රෑ බණ! ඒ ඇයි මාමේ?'

'මහත්තයා ගමේ ගිහින් හිටිය හින්දා ආරංචි වෙන්න නැතුව ඇති. පහු ගිය ටිකේ මේ පැත්තට හොදටම වැස්සා. වෙද උන්දැගේ ගේ පිටිපස්සේ තිබ්බ අර පස් කන්ද ගේත් යටකරගෙන කඩා වැටිලා මහත්තයෝ.'

දාස මාමා සුසුමක් හෙලුවේ දෑසේ කදුලු පිස දමමින්.

'උන්දැයි හාමිනෙයි ඒ වෙලාවේ පන්සලේ ඉදලා තියෙන්නේ. මානසී කෙල්ල මල් කඩන් එන්නම් කියළා ගෙදර නතරවෙලා. අනේ ඒ අහිංසක කෙල්ල අර......'

ඔහුගේ දෙනෙත් යළිත් කදුලින් පිරී ගියේය.

'මොනවා !. එතකොට මා....න...සී......'

'ඔව් ඉස්කෝලේ මහත්තයෝ. පස් අයින් කරද්දී ඒ අහිංසකීගේ මිනිය හම්බවුණා. කෙලීගේ අතේ හිරවෙලා තිබ්බේ පන්සලට ගෙනියන්න කඩාපු සුදු අරලිය මල් පොකුරක්.'

                                    ----නිමි----

Sunday, June 26, 2016

නිල් නෙතු යුග කරයි වසී....

සසර පුරාවට සබැදී
ලෙන්ගතු හසරැල් ළබැදී
සොදුරු සිනා මල් පුබුදී
නුඹම තමයි මගෙ සුද්දී....

අහස්කුස පුරා දිළිසී
නීල වර්ණයෙන් සැරසී
යුගල තරුකා සදිසී
නිල් නෙතු යුග කරයි වසී....

පියා සලන වැහිලිහිණී
රැව් දෙන නාදයක් වැනී
ආල වදන් පුබුදන්නී
මා සනසන මගෙ හීනී....

පිරුණු මනා ළැම ඉස්සී
සියුමැලි වත පරිදි සිසී
රැලි පිට රැලි දිගු කේසී
නුඹ දැකුමෙන් ඉමි සැනසී....

මංගල ගී නද පැතිරී
ලෙංගතු දෙහදක විසිරී
සොදුරු නාද දෙන මිහිරී
කැන්දන් යමි සහකාරී....

Thursday, June 23, 2016

ගෙදර බුදුන් සිහිවෙලාද...

හෙමින් හෙමින් පා තබලා
සුදු අරලිය මල් නොතලා
සැහැල්ලුවෙන් පියනගන්නේ
මල් පෙති පොඩිවෙයි කියලද...

වැලි මතුපිට වරෙක බලා
හෙමින් ඉදල හසුරුවලා
වැලි මලුවම අමදින්නේ
කූඹි ගුල් වැහෙයි කියලද...

වැටිච්ච දං අහුලාලා
ආවාසය දෙස බලලා
හොරෙන් හොරෙන් රහ බලන්නේ
ලොකු නම සැරවෙයි කියලද...

ඈත පාරෙ දග කරලා
යන පාසල් ළමුන් දැකලා
මූණ නරක් කරගන්නේ
පාසල් යන්නට හිතිලද...

හඩ දෙන ලේනෙකු දැකලා
කපුටට ඉදලෙන් ගහලා
දිවවිත් ඌ බේරගන්නේ
ඌට තුවාලයි කියලද...

දිවයද්දී කටු ඇනිලා
ලේ බිදුවක් මතුවිලා
ඇස් කදුලින් පුරෝගන්නේ
ගෙදර බුදුන් සිහිවෙලාද...

Monday, June 20, 2016

ගැබ්බරයි තවමත් දෙනෙත.....

මේඝ පෙල ගැවසිලා
නිමක් නැති නිළඹරේ
කසු කුසුව ඇයිද අද
මටද ඔය සමච්චල්.....

බුරුතු පිටින් එක පොදියකට
රෑ අහසේ බැද විමන
වළක්වයි නෙතු මානයෙන්
තරු මඩළ සද මඩළ.....

ඇගේ මතකය දෝර ගලමින්
රිදුම් දෙයි තවමත් හිතට
විරහ කදුලක දුකක් දන්නේ
සද මඩළ පමණි දැන්.....

පලායනු මැන මේඝයිණි
විරහ දුක පා කර යවන්නට
පිටාර නොගලන දුකම සිරවී
ගැබ්බරයි තවමත් දෙනෙත.....

Tuesday, June 14, 2016

හෙනමයි උඹලට වදින්නේ ......

මහ වියදමක්
මවා පෑමක්
නමට පමණක්
අලියට වැටක්

අලින් ගම් වදිනවා
උන් ඇවිත් බලනවා
කමිටු පත් කරනවා
වැටත් මුල් අදිනවා

දුක් ගැහැට පරදා
වගා කෙරුවද සදා
අස්වැන්න අලියට පුදා
හූල්ලති ගම්මුන් මෙදා

ශාපෙ කාගෙදෝ
පාපෙ අපෙමදෝ
උන් අන්ධයිදෝ
රට කන්නේදෝ

අපේ දිවිය අලිය ගන්නේ
ගිනි ගත් දුක නැද්ද දන්නේ
රට කරවන මහ එවුන්නේ
හෙනමයි උඹලට වදින්නේ ......

Friday, June 10, 2016

මගුල් කෑම

            උදයේම හිරු පෑයුවද පරිසරයේ සුන්දරත්වයක් නොවූයේ වැහි ඇදිරිය නිසාමයි. ගස් වැල්ද නිශ්චලව සිටින්නේ කම්මැලියන් පරිද්දෙනි. කුරුලු කරච්චලයක් නැතත් කාමරය දෙසින් උරුවම්බාන හඩක් ඇසෙයි. පැරණි ඉංග්‍රීසී ගීතයක තාලයට මෙසේ උරුවම් බාන්නේ 'ලක්මිණ' නම්වූ දොස්තර සිසුවෙකි.

මිතුරෙකුගේ මංගල සාදයකට සහභාගී වීමට ඇති නිසාම ඔහුට අද දින තරමක අවිවේකීය. තම සපත්තු යුවල පිරිසිදු කරන ලක්මිණට බිත්තිය මත වසා සිටින කැරපොත්තෙක් අහම්බෙන් නෙත ගැටුනේය. වට පිට බැලූ ඔහුට සේදිමට ඇති කමිසයක් සහ තුවායක්, ඇද අසලම තබා ඇති ප්ලාස්ටික් කූඩයේ තිබෙන අයුරු පෙනුනි. ඉන් කමිසය ගෙන එය බෝලයක් මෙන් සකස්කර කැරපොත්තා දෙසට දමා ගැසුවේය. නමුත් එතැනින් ඉවත් වූ කැරපොත්තා දොර රෙද්ද මත වැසුවේය. ලක්මිණට ඉන් පසු අතට හසුවුනේ තුවායයි. ඔහු එය දොර දෙසට විසිකරනවාත් සමගම එතැනින් කාමරයට තුලට පැමිනියේ මවය. සිදු වූයේ කුමක්ද? තුවාය විසිවී ගොස් වැදුනේ කැරපොත්තාට නොව මවටය. ලක්මිණගේ උරුවම් බෑම එක් වරම නතරවිය.

'අ..ම්..මා...'
'තේ හැදුවා, ඇවිත් බිලා ඉන්න'

ඈ නැවතත් කාමරයෙන් පිටවූවාය. සැනසුම් සුසුම් පිටකල ලක්මිණ ඉක්මනින්ම සූදානම්වී සාලයට පැමිණියේය. මේසය මත තබා ඇති තේ කෝප්පයෙන් උගුරක් දෙකක් රස බලන අතරේ ජංගම දුරකථනය බෙරිහන් දෙන්නටවිය. ඔහු එයට පිලිතුරු බැන්දේය.

'හරි.. හරි... මචං.  මං මේ මග එනගමන්. හරි.. හරි... තිබ්බා.. තිබ්බා..'

ලක්මිණගේ කථාවට සාලයේ පුටුවකට වී සිටි මවට සිනා ගියේ ඇයි දැයි ඔහු හොදින්ම තේරුම් ගත්තේය. ඔහුද මව දෙස බලා සිනා සී තේ කෝප්පය හිස් කෙරුවේය.

'ගමන යන්නෙත් පරක්කුවෙලා. තව බොරුත් කියනවා'
'හරි හරි අම්මා. දැන් ඉතින් කොහොමත් යනවානේ'

ඔහු තේ කෝප්පය මේසය මත තබනවාත් සමගම ජංගම දුරකථනයද තැබුවේ අමතකවීමෙන්ය. වැහි අදුරෙන් පිරි අහස් ගැබ දෙස බලමින් ලක්මිණ මිදුලට පිවිසියේය. යාමට ඇත්තේ තරමක දුර ගමනක් නිසාත් එම පාරවල් පටු නිසාත් ඔහු ගමන යාමට මෝටර් ර්ථය නොව යතුරුපැදිය තෝරාගත්තේය. අනතුරුව මිටෙන් හල කුරුල්ලකු මෙන් වේගයෙන් එය පදවාගෙන ගියේය.

වැහි අදුරේ වලාකුලු අතරේ විටෙන් විට එහා මෙහා දුව පනින රිදී ඉරි මෙන්ම සීතලට හමා එන සුළං ධාරවන්ද මහ වැස්සක පෙර නිමිත්තක් බව ලක්මිණට පසක්වූයේ මදක් දුර ආ පසුවයි. ඒ අතරේ වැහි පොද එකින් එක පොලව තෙමන්න පටන් ගත්හ.

ලක්මිණගේ ප්‍රථම නැවතුම්පොල වූයේ ඉන්දන පිරවුම්හලයි. අවශ‍ය්‍ය තරමට ඉන්දන ලබාගත් ඔහු යළිත් ගමනාරම්භ කලේය. දැන් දැන් වැහි වැටීම නතර වූයේ ලක්මිණගේ සිතට මද අස්වැසිල්ලක් ගෙන එමින්ය.

ප්‍රධාන මාවතෙන් මදක් දුර ගොස් පටු බොරලු පාරට පැමිණීමත් සමගම යළිත් වැහි බින්දු කඩා පනින්නට පටන් ගත්හ. නොනවත්වාම තද වර්ෂාවක් නොතිබුනද ඉදහිට වැටෙන වැහිබිදු නිසාම ලක්මිණගේ ඇදුම් තෙත් වී තිබුණි. මග දෙපස  නතරවීමට නිවසක් හෝ නොවූයේ එය ගම්බද පලාතක් නිසා ජනගහනය අඩු බැවිනි. එබැවින් ලක්මිණ යතුරු පැදිය නොනවත්වාම ධාවනය කලේය. වැහි චුරු චුරුව වැඩි වී ඇත. බොරලු පාර පුරාම තැනින් තැන මඩ වලවල්ය. මේ නිසාම කලු පැහැ කලිසම මත තැනින් තැන තැඹිලි පාටින් බතික් වී ඇත. මෝටර් රථයෙන් නොපැමිණ යතුරුපැදියෙන් පැමිණීම පිළිබදව තමාටම හිතින් බැනගත් ලක්මිණට තමා පැළද සිටින සපත්තු ජලයෙන් පිරී ඇති බව දැනුණේය. මේ සියල්ල ඉවසාගෙන ඔහු මංගල උත්සවයට සහභාගි වුණේය.

එය ඉතා ඉහල මට්ටමෙන් සංවිධානය කර ඇති උත්සවයකි. ඈත සිට එය දුටු ලක්මිණ වත්තට ඇතුලුවී යතුරු පැදිය නිවසේ පිටුපස දෙසින් නතර කර මුලුතැන්ගෙය දෙසට පියනැගුවේය. මඩවලින් බතික් වූ ඇදුම් සමගින් පැමිණෙන ඔහු දෙස කවුරුත් විමසිල්ලෙන් බැලුවෝය. පොලොව පලාගෙන යන්න ඇත්නම් එය මීට වඩා සැපදායක බව ලක්මිණට සිතුණේය. එහෙත් වාසනාවකට මෙන් එතැනට පැමිණියේ ලක්මිණගේ තවත් මිතුරෙකු වූ සුගත්ය. ලක්මිණගේ සිරුරට ලේ බෝතලයක් ඉනුවා වැනි විය. සිදුවූ හැම දෙයක්ම ඉස්පිල්ලක් පාපිල්ලක් නෑර ඔහු සුගත්ට පැවසුවේ ඊට ක්ෂණික පිළියමක් බලාපොරොත්තුවෙනි.

' යමං අපේ ගෙදර. මේ කිට්ටුවමනේ තියෙන්නේ. ඉක්මනට එන්න පුලුවන්වෙයි. වැස්ස හින්දා මගේ කාර් එකේම යමං'

එපමණයි. සුගත්ට පින් දී ලක්මිණ වහාම මෝටර් රථයට ගොඩ වුණේය. තවත් මොහොතකින් ඔවුන් සුගත්ගේ නිවස අසලය. නිවසට ගිය සැනින් ලක්මිණ සරමක් පටලා කලිසමේ මඩ පැල්ලම් ටික සෝදා දැමුවේය. සුගත්ගේ ඇදුම් ලක්මිණට ඇදිය නොහැක්කේ ඔහු සුගත්ට වඩා සිහින් සිරුරකට හිමිකම් කියන නිසාවෙනි. ඇදුම් මැදීමට ගියත් නිවසේ විදුලිය ඇනහිටීම ලක්මිණගේ පසුතැවිල්ලට හේතුවිය. සුගත් වහාම අල්ලපු නිවසට ගියේ පොල් කටු ඉස්ත්‍රික්කය රැගෙන ඒමටයි. සුගත් පැමිණෙන තුරු මේස් යුගල මිරිකා දැල්වෙන දර ලිපෙහි දුම් මැස්සට දැමූ ලක්මිණ පොල්කටු දැල්වූවේය. ඉස්ත්‍රික්කය ගෙනා පසු එයින් යාන්තම් වේලී ඇති කලිසමත් කමිසයත් මැද ගත්තේය. ඉක්මනින්ම දෙවෙනි වරටත් ඇදුම් ඇදගත් ලක්මිණ තෙත් බව තවමත් රැදී ඇති මේස් යුගලද පලදාගත්තේය.

'ඉදා මේක ඇගට හලා ගනින්, සුවද දැනෙන්නේ නැතත් ඔය දුං ගද නොදැනෙයිනේ'

සුගත් දුන් සුවද විලවුන්ද ඇගට දමාගත් ලක්මිණ සුගත් සමග නැවතත් මංගල උත්සවයට ගියේය. මේ වනවිට වැස්ස වැහි පොදක් දක්වා අඩුවී තිබුණි. දිවා ආහාරය ගැනීමෙන් අනතුරුව නැවතත් ලක්මිණ මනාල යුවලට සුභ පැතීමට ගියේය.

'මලා'

දෑස් නළල දක්වා විහිදී ගිය ලක්මිණට එසේ කියැවුණේ මනාල යුවල ඉදිරියේදීමයි. මිතුරාට ගෙන ආ තෑග්ග තවමත් තමාගේ ඇද මත බව ඔහුට සිහිවුණේය. දැන්නම් වෙන කලහැකි දෙයක් නොවීය. මේසය මත තබා ඇති ලියුම්කවර වලින් එකක් ගත් ලක්මිණ එයට මුදල් දමා මිතුරාට දුන්නේය. එසේම නව මනාල යුවලට සියල්ල පවසා ඔවුන්ට සුභ පැතීමටද ලක්මිණ අමතක නොකලේය.

'මරු මගුල්කෑම, ඇති ඔයින් ගියා'

සුගත්, ලක්මිණගේ උදරයට තට්ටුවක් දමා කියාසිටියේය. මේවන විට වර්ෂාව අඩුවී තිබූ අතර තද අව්වක්ද  පැවතියේය.

'ලක්මිණ, යමං. මං කාර් එකේ ගිහින් දාන්නම්'

සුගත්ගේ ඉල්ලීම ප්‍රතික්ශේප කෙරූ ලක්මිණ හැම දෙනාටම සමුදී යතුරු පැදිය අසළට පැමිණියේය. එල්ලෙමින් ඇති හෙල්මටය වැහි වතුරෙන් පිරී ඇති බව ඔහු දුටුවේ ඒ මොහොතේදීයි.

'මරු මගුල් කෑම'

කියමන සිහිවූ ලක්මිණ නිවස දෙස හැරී   බැලුවේය.  සුගත් සිනාසෙමින් තමා දෙස බලා හිදින අයුරු ඔහු දුටුවේය.

'මරු මගුල් කෑම'

ලක්මිණ මිමිණුවේය.   


...... නිමි.....      

Monday, June 6, 2016

සෙනෙහස පිරි ජීවිතයට.......

හෙමින් හෙමින් දිලිහි දිලිහි
හිරු ළංවෙයි කිරි මුහුදට

හොරෙන් හොරෙන් පෙන පිඩුවල
තුරුලට වෙයි සීතලයට

එහෙන් මෙහෙන් හිතුමතේට
එලිය මැකෙයි පුරුදු ලෙසට

වටින් පිටින් මද අදුරද
කඩා පනියි පරිසරයට

වහන් වෙමින් මොහොතකදී
නුඹ හිනැහෙයි ලස්සනකට

හෙමින් හෙමින් ආදරයෙන්
නුඹ ගන්නෙමි මා තුරුලට

ළගින් ඉදන් ඈත සිතිජෙ
සොදුරු දසුන් ආදරයට

බිදෙන් බිදෙන් පොදි බැද ගමු
සෙනෙහස පිරි ජීවිතයට.......