Friday, June 10, 2016

මගුල් කෑම

            උදයේම හිරු පෑයුවද පරිසරයේ සුන්දරත්වයක් නොවූයේ වැහි ඇදිරිය නිසාමයි. ගස් වැල්ද නිශ්චලව සිටින්නේ කම්මැලියන් පරිද්දෙනි. කුරුලු කරච්චලයක් නැතත් කාමරය දෙසින් උරුවම්බාන හඩක් ඇසෙයි. පැරණි ඉංග්‍රීසී ගීතයක තාලයට මෙසේ උරුවම් බාන්නේ 'ලක්මිණ' නම්වූ දොස්තර සිසුවෙකි.

මිතුරෙකුගේ මංගල සාදයකට සහභාගී වීමට ඇති නිසාම ඔහුට අද දින තරමක අවිවේකීය. තම සපත්තු යුවල පිරිසිදු කරන ලක්මිණට බිත්තිය මත වසා සිටින කැරපොත්තෙක් අහම්බෙන් නෙත ගැටුනේය. වට පිට බැලූ ඔහුට සේදිමට ඇති කමිසයක් සහ තුවායක්, ඇද අසලම තබා ඇති ප්ලාස්ටික් කූඩයේ තිබෙන අයුරු පෙනුනි. ඉන් කමිසය ගෙන එය බෝලයක් මෙන් සකස්කර කැරපොත්තා දෙසට දමා ගැසුවේය. නමුත් එතැනින් ඉවත් වූ කැරපොත්තා දොර රෙද්ද මත වැසුවේය. ලක්මිණට ඉන් පසු අතට හසුවුනේ තුවායයි. ඔහු එය දොර දෙසට විසිකරනවාත් සමගම එතැනින් කාමරයට තුලට පැමිනියේ මවය. සිදු වූයේ කුමක්ද? තුවාය විසිවී ගොස් වැදුනේ කැරපොත්තාට නොව මවටය. ලක්මිණගේ උරුවම් බෑම එක් වරම නතරවිය.

'අ..ම්..මා...'
'තේ හැදුවා, ඇවිත් බිලා ඉන්න'

ඈ නැවතත් කාමරයෙන් පිටවූවාය. සැනසුම් සුසුම් පිටකල ලක්මිණ ඉක්මනින්ම සූදානම්වී සාලයට පැමිණියේය. මේසය මත තබා ඇති තේ කෝප්පයෙන් උගුරක් දෙකක් රස බලන අතරේ ජංගම දුරකථනය බෙරිහන් දෙන්නටවිය. ඔහු එයට පිලිතුරු බැන්දේය.

'හරි.. හරි... මචං.  මං මේ මග එනගමන්. හරි.. හරි... තිබ්බා.. තිබ්බා..'

ලක්මිණගේ කථාවට සාලයේ පුටුවකට වී සිටි මවට සිනා ගියේ ඇයි දැයි ඔහු හොදින්ම තේරුම් ගත්තේය. ඔහුද මව දෙස බලා සිනා සී තේ කෝප්පය හිස් කෙරුවේය.

'ගමන යන්නෙත් පරක්කුවෙලා. තව බොරුත් කියනවා'
'හරි හරි අම්මා. දැන් ඉතින් කොහොමත් යනවානේ'

ඔහු තේ කෝප්පය මේසය මත තබනවාත් සමගම ජංගම දුරකථනයද තැබුවේ අමතකවීමෙන්ය. වැහි අදුරෙන් පිරි අහස් ගැබ දෙස බලමින් ලක්මිණ මිදුලට පිවිසියේය. යාමට ඇත්තේ තරමක දුර ගමනක් නිසාත් එම පාරවල් පටු නිසාත් ඔහු ගමන යාමට මෝටර් ර්ථය නොව යතුරුපැදිය තෝරාගත්තේය. අනතුරුව මිටෙන් හල කුරුල්ලකු මෙන් වේගයෙන් එය පදවාගෙන ගියේය.

වැහි අදුරේ වලාකුලු අතරේ විටෙන් විට එහා මෙහා දුව පනින රිදී ඉරි මෙන්ම සීතලට හමා එන සුළං ධාරවන්ද මහ වැස්සක පෙර නිමිත්තක් බව ලක්මිණට පසක්වූයේ මදක් දුර ආ පසුවයි. ඒ අතරේ වැහි පොද එකින් එක පොලව තෙමන්න පටන් ගත්හ.

ලක්මිණගේ ප්‍රථම නැවතුම්පොල වූයේ ඉන්දන පිරවුම්හලයි. අවශ‍ය්‍ය තරමට ඉන්දන ලබාගත් ඔහු යළිත් ගමනාරම්භ කලේය. දැන් දැන් වැහි වැටීම නතර වූයේ ලක්මිණගේ සිතට මද අස්වැසිල්ලක් ගෙන එමින්ය.

ප්‍රධාන මාවතෙන් මදක් දුර ගොස් පටු බොරලු පාරට පැමිණීමත් සමගම යළිත් වැහි බින්දු කඩා පනින්නට පටන් ගත්හ. නොනවත්වාම තද වර්ෂාවක් නොතිබුනද ඉදහිට වැටෙන වැහිබිදු නිසාම ලක්මිණගේ ඇදුම් තෙත් වී තිබුණි. මග දෙපස  නතරවීමට නිවසක් හෝ නොවූයේ එය ගම්බද පලාතක් නිසා ජනගහනය අඩු බැවිනි. එබැවින් ලක්මිණ යතුරු පැදිය නොනවත්වාම ධාවනය කලේය. වැහි චුරු චුරුව වැඩි වී ඇත. බොරලු පාර පුරාම තැනින් තැන මඩ වලවල්ය. මේ නිසාම කලු පැහැ කලිසම මත තැනින් තැන තැඹිලි පාටින් බතික් වී ඇත. මෝටර් රථයෙන් නොපැමිණ යතුරුපැදියෙන් පැමිණීම පිළිබදව තමාටම හිතින් බැනගත් ලක්මිණට තමා පැළද සිටින සපත්තු ජලයෙන් පිරී ඇති බව දැනුණේය. මේ සියල්ල ඉවසාගෙන ඔහු මංගල උත්සවයට සහභාගි වුණේය.

එය ඉතා ඉහල මට්ටමෙන් සංවිධානය කර ඇති උත්සවයකි. ඈත සිට එය දුටු ලක්මිණ වත්තට ඇතුලුවී යතුරු පැදිය නිවසේ පිටුපස දෙසින් නතර කර මුලුතැන්ගෙය දෙසට පියනැගුවේය. මඩවලින් බතික් වූ ඇදුම් සමගින් පැමිණෙන ඔහු දෙස කවුරුත් විමසිල්ලෙන් බැලුවෝය. පොලොව පලාගෙන යන්න ඇත්නම් එය මීට වඩා සැපදායක බව ලක්මිණට සිතුණේය. එහෙත් වාසනාවකට මෙන් එතැනට පැමිණියේ ලක්මිණගේ තවත් මිතුරෙකු වූ සුගත්ය. ලක්මිණගේ සිරුරට ලේ බෝතලයක් ඉනුවා වැනි විය. සිදුවූ හැම දෙයක්ම ඉස්පිල්ලක් පාපිල්ලක් නෑර ඔහු සුගත්ට පැවසුවේ ඊට ක්ෂණික පිළියමක් බලාපොරොත්තුවෙනි.

' යමං අපේ ගෙදර. මේ කිට්ටුවමනේ තියෙන්නේ. ඉක්මනට එන්න පුලුවන්වෙයි. වැස්ස හින්දා මගේ කාර් එකේම යමං'

එපමණයි. සුගත්ට පින් දී ලක්මිණ වහාම මෝටර් රථයට ගොඩ වුණේය. තවත් මොහොතකින් ඔවුන් සුගත්ගේ නිවස අසලය. නිවසට ගිය සැනින් ලක්මිණ සරමක් පටලා කලිසමේ මඩ පැල්ලම් ටික සෝදා දැමුවේය. සුගත්ගේ ඇදුම් ලක්මිණට ඇදිය නොහැක්කේ ඔහු සුගත්ට වඩා සිහින් සිරුරකට හිමිකම් කියන නිසාවෙනි. ඇදුම් මැදීමට ගියත් නිවසේ විදුලිය ඇනහිටීම ලක්මිණගේ පසුතැවිල්ලට හේතුවිය. සුගත් වහාම අල්ලපු නිවසට ගියේ පොල් කටු ඉස්ත්‍රික්කය රැගෙන ඒමටයි. සුගත් පැමිණෙන තුරු මේස් යුගල මිරිකා දැල්වෙන දර ලිපෙහි දුම් මැස්සට දැමූ ලක්මිණ පොල්කටු දැල්වූවේය. ඉස්ත්‍රික්කය ගෙනා පසු එයින් යාන්තම් වේලී ඇති කලිසමත් කමිසයත් මැද ගත්තේය. ඉක්මනින්ම දෙවෙනි වරටත් ඇදුම් ඇදගත් ලක්මිණ තෙත් බව තවමත් රැදී ඇති මේස් යුගලද පලදාගත්තේය.

'ඉදා මේක ඇගට හලා ගනින්, සුවද දැනෙන්නේ නැතත් ඔය දුං ගද නොදැනෙයිනේ'

සුගත් දුන් සුවද විලවුන්ද ඇගට දමාගත් ලක්මිණ සුගත් සමග නැවතත් මංගල උත්සවයට ගියේය. මේ වනවිට වැස්ස වැහි පොදක් දක්වා අඩුවී තිබුණි. දිවා ආහාරය ගැනීමෙන් අනතුරුව නැවතත් ලක්මිණ මනාල යුවලට සුභ පැතීමට ගියේය.

'මලා'

දෑස් නළල දක්වා විහිදී ගිය ලක්මිණට එසේ කියැවුණේ මනාල යුවල ඉදිරියේදීමයි. මිතුරාට ගෙන ආ තෑග්ග තවමත් තමාගේ ඇද මත බව ඔහුට සිහිවුණේය. දැන්නම් වෙන කලහැකි දෙයක් නොවීය. මේසය මත තබා ඇති ලියුම්කවර වලින් එකක් ගත් ලක්මිණ එයට මුදල් දමා මිතුරාට දුන්නේය. එසේම නව මනාල යුවලට සියල්ල පවසා ඔවුන්ට සුභ පැතීමටද ලක්මිණ අමතක නොකලේය.

'මරු මගුල්කෑම, ඇති ඔයින් ගියා'

සුගත්, ලක්මිණගේ උදරයට තට්ටුවක් දමා කියාසිටියේය. මේවන විට වර්ෂාව අඩුවී තිබූ අතර තද අව්වක්ද  පැවතියේය.

'ලක්මිණ, යමං. මං කාර් එකේ ගිහින් දාන්නම්'

සුගත්ගේ ඉල්ලීම ප්‍රතික්ශේප කෙරූ ලක්මිණ හැම දෙනාටම සමුදී යතුරු පැදිය අසළට පැමිණියේය. එල්ලෙමින් ඇති හෙල්මටය වැහි වතුරෙන් පිරී ඇති බව ඔහු දුටුවේ ඒ මොහොතේදීයි.

'මරු මගුල් කෑම'

කියමන සිහිවූ ලක්මිණ නිවස දෙස හැරී   බැලුවේය.  සුගත් සිනාසෙමින් තමා දෙස බලා හිදින අයුරු ඔහු දුටුවේය.

'මරු මගුල් කෑම'

ලක්මිණ මිමිණුවේය.   


...... නිමි.....      

8 comments:

  1. Replies
    1. අමතක නොවන මගුල්කෑම.

      ජයවේවා!!!

      Delete
  2. Replies
    1. මල මගුල..

      ජයවේවා!!!

      Delete
  3. maru maru. adhatath lakmina oya gAna mathak karanawaa.

    jayaweawaa !!!

    ReplyDelete
  4. පුදුම මඟුලක් නෙව !

    ReplyDelete