Thursday, June 23, 2016

ගෙදර බුදුන් සිහිවෙලාද...

හෙමින් හෙමින් පා තබලා
සුදු අරලිය මල් නොතලා
සැහැල්ලුවෙන් පියනගන්නේ
මල් පෙති පොඩිවෙයි කියලද...

වැලි මතුපිට වරෙක බලා
හෙමින් ඉදල හසුරුවලා
වැලි මලුවම අමදින්නේ
කූඹි ගුල් වැහෙයි කියලද...

වැටිච්ච දං අහුලාලා
ආවාසය දෙස බලලා
හොරෙන් හොරෙන් රහ බලන්නේ
ලොකු නම සැරවෙයි කියලද...

ඈත පාරෙ දග කරලා
යන පාසල් ළමුන් දැකලා
මූණ නරක් කරගන්නේ
පාසල් යන්නට හිතිලද...

හඩ දෙන ලේනෙකු දැකලා
කපුටට ඉදලෙන් ගහලා
දිවවිත් ඌ බේරගන්නේ
ඌට තුවාලයි කියලද...

දිවයද්දී කටු ඇනිලා
ලේ බිදුවක් මතුවිලා
ඇස් කදුලින් පුරෝගන්නේ
ගෙදර බුදුන් සිහිවෙලාද...

14 comments:

  1. ලස්සණ පැදි පෙළක්..

    ReplyDelete
  2. ස්තූතියි ලලිත්.

    ජයවේවා!!!

    ReplyDelete
  3. //ඇස් කදුලින් පුරෝගන්නේ
    ගෙදර බුදුන් සිහිවෙලාද...//

    සුන්දරයි නිර්මාණය දුමී...ජිවිතේ අර්ථයක් හරි හැටි නොදැන කුඩා කාලෙදිම මහණ දම් පුරන සාමනේර හිමිවරුන්ට ඇත්තටම මේ වගේ දැනෙනවා ඇති...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි පොකුරු වැහි. මම බෞද්ධාලෝක පන්සලට යද්දි පොඩි හාමුදුරු දෙනමක් දැක්කා. බෝ මලුව වටේ ඉදලත් අරන් දුවනවා. ඒක දැක්කමයි මට මේක ලියන්න හිතුනේ.

      ජයවේවා !!!

      Delete
  4. හාමුදුරුවරු පොඩි කාලෙම මහන කරන එක නම් හරිම කැත වැඩක්.....මට මතකයි ගස් ලබ්බගෙ බොගෙත් ඔය ගැන කථිකාවක් ගියා....

    ReplyDelete
    Replies
    1. ඇත්ත. ඇත්ත. මාත් අකමැතිම වැඩක් තමයි පොඩි කාලෙම මහන කරවන එක. හතර වරිගෙම එතෙර කරන්න කියලා මහණ කෙරෙව්වට එහෙම වෙන්නේ නැහැනේ.

      ජයවේවා !!!

      Delete
  5. Replies
    1. පොඩි නමකගේ දුක් කදුලු

      ජයවේවා!!!

      Delete
  6. ලස්සන කවි සිතුවිල්ලක් !!!

    ReplyDelete
  7. ස්තූතියි, සංකල්ප.

    ජයවේවා!!!

    ReplyDelete
  8. ලස්සනයි.... ජයවේවා

    ReplyDelete
  9. අරෑගෙ ලෝකයෙන් පාර හොයාගෙන ආවේ..සොඳුරැ පැදි පෙලක් හිතන්න දෙයක් ඉතිරි කල

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නුවන්.

      ජයවේවා!!!

      Delete