Monday, August 22, 2016

මල් පොකුරෙන් මලක් කැඩුවා උන් අදුරේ






මල් රටාව විසිරුණු බිම රැඳි           පැදුරේ
කල්ලියකට ගුරු විය නුඹෙ හඬ       අඳුරේ
තල් අරණේ හඩට හැරුනත් දොර  මැදුරේ
මල් පොකුරෙන් මලක් කැඩුවා උන් අඳුරේ

හිතට අරන් සමාජයේ            හරස්කඩක්
හඬට බිය නොවී පෙන්නුවෙ නුඹේ හඬක්
සැමට ජීවයයි කුමටද පිහියෙ         තුඩක්
අදට වසර දහයයි කෝ පුතුගෙ       හඬක්

අපේ කදුලු දකුණෙ වගේ තෙත නැද්ද
අපේ සුසුම් දකුණෙ වගේ බර    නැද්ද
අපේ ගැටලු ඒ තරම්ම දුක         නැද්ද
අපේකමත් ලංකාවට හිමි          නැද්ද

අපේ කදුලු උණුහුමකින් තෙත්     වෙන්නේ
ලිපේ ගින්න පපු කුහරේ දැඩි        වෙන්නේ
ඔපේ වැටුණු මැණිකකි පුතු වෙන් වෙන්නේ
තොපේ පිපාසෙට හෙනමයි ළං     වෙන්නේ

මගේ දෙපා වැද ආසිරි ගත්ත        පුතේ
මගේ මතක අතරේ සැරිසරණ      පුතේ
මගේ හුස්ම වියළෙන්නට කලින්   පුතේ
මගේ ඇහැට පෙනී යන්න වරෙන් පුතේ.........

Tuesday, August 9, 2016

සුසුමකවත් නැවතුණිනම්.........



ජීවිතය පිළිබදව මෙතෙක් මා දුටු භයානකම හෝඩුවාව රැගත් ඒ මූසල ලියවිල්ල අඩංගු ලිපි කවරය මම මේස ලාච්චුවෙන් පිටතට ගත්තෙමි. දෙතුන් වරක් නවා ගුලිකර තිබූ එම ලියවිල්ල, කවරයෙන් පිටතට විත් මා නෙතු ඉදිරියේ පෙනී සිටින්නේ කීවෙනි වතාවටද යන්න පිළිබදව මට හැගීමක් නැත. කෙසේ වෙතත් පළමු වතාවට මෙය මා ඉදිරියට පැමිණියේ අද උදෑසන බව පමණක් මට මතකය. මම එය දිග හැරියෙමි. දැල්වූ මේස ලාම්පුවේ ආළෝකය, කාමරය පුරා වූ අදුර පළවාහරින්නට අසමත් වුවද ලියවිල්ල බැලීමට ප්‍රමාණවත් විය. මගේ නෙත් ඒ ලියවිල්ල වෙත යොමුවිය.

දිනය, නම, වෙලාව, ප්‍රතිඵලය ආදී එහි සටහන් වූ සියල්ලක්ම දැන් මට කට පාඩම්ය. යළිත් මගේ නෙත් නතරවූයේ ඒ භයානක වූ ප්‍රතිඵලය මතයි. හීන් දාඩියකින් මුහුණ තෙත්වූ අතර තොල කට වෙලී ගියෝය. මම නැවතත් වියරු වැටුණු පුද්ගලයෙකු මෙන් කලබල වීමි. ඒ ලියවිල්ල ගුලිකර වීසි කරන මොහොතේදී මගේ සුරත වැදී වතුර වීදුරුව බිම සිප ගත්තේ වතුර මෙන්ම වීදුරු කැබලිද හැම තැනම විහිදුවමිණි. අවුල් වූ සිතුවිලිවලින් මගේ හිස පිරී බර වී ඇත. මම මේසය මත හිස තබාගත්තෙමි. ඒ මොහොතේ දොරට ගසන ශබ්දයක් ඇසුණේය.

' චංචල මහත්තයා, චංචල මහත්තයා.....' ඒ මගේ මෙහෙකරුගේ හඩයි.
'ඇයි'
'ඇයි මේ මහ දවාලේ දොර ජනෙල් වහගෙන.බල්බ් එක දාගෙනත් නෑ.'

අඩවන්කර තිබූ දොර විවෘත කරන ශබ්දය මට ඇසුණේය. තවත් මොහොතකින් විදුලි බල්බය දැල්වුණි. ඔහු එය දල්වන්නට ඇත.

' චංචල මහත්තයා බෙහෙත් ගත්තේ නැද්ද? තාමත් ඔලුව කැක්කුමද ?'
' දැන් හොදයි'
'උදේ දොස්තර මහත්තයා හම්බෙන්න ගියාද? ආ......වීදුරුවක් කැඩෙන සද්දෙටයි මම ආවේ. මේ තියෙන්නේ වීදුරු කෑලී.'
'මගේ අතින් වීදුරුව වැටුණා'
'ඉන්න මම අස් කරන්නම්.' ඔහු තව මොනවාදෝ කියමින් වීදුරු කැබලි ඇහිදින ශබ්දය මට ඇසුණි.
' දොස්තර මහත්තයා මොනාද කිව්වේ ? '
' මුකුත් නෑ. මගේ ඔලුවෙ කැක්කුම වැඩි නොකර මෙතනින් යනවාද ? '
' අනේ කේන්ති ගන්න එපා මහත්ත්යා. මම මේ.....'
'අයියෝ, යනවා යන්න මෙතනින්. ආවා වීදුරු කෑලී අහුලන්න '

මම පුටුවෙන් නැගිටමින් කෑ ගැසුවෙමි. අසරණ මෙහෙකරු තිගැස්සුණ අයුරු මම දුටුවෙමි. පව්. කලබල වී දිවයද්දී එකතුකෙරූ වීදුරු කැබලි කිහිපයක් බිම වැටුණු නමුත් ඔහු නතර නොවී කාමරයෙන් පිටට දිවගියේය.

ඔහු ගිය පසු මම දොර වසා අගුලු දැමුවෙමි. විදුලි බල්බයද නිවා දමා බිම හිදගනිමින් බිත්තියට හේත්තුවූයෙමි. ඒ ලියවිල්ලේ වූ භයානක ආරංචිය යළි යළිත් මට වදදෙන්නට විය. නුපුරුදු ඒ හැගීමත් සමග මම බිත්තියට හිස තබා ගෙන හුදෙකලා වීමි. මේස ලාම්පුවේ ආළෝකය මට සැනසීමක් ඇති කිරීමට සමත්විය. එක්වරම නාදදෙන්නට පටන්ගත් ජංගම දුරකථනය මගේ හුදෙකලාවට බධා කළේය.

ඇමතුම පැමිණෙන්නේ ' පියවි' ගෙනි. උදේ පටන් මට ඇමතීමට ඈ දරණ කීවෙනි උත්සාහයද මේ ?. එහෙත් වෙනදා මෙන් ඈ සමග කථා කිරීමට අද මට සිතක් නැත. ඈ සමග තව කුමක් පිළිබදව කථා කරන්නද ? මංගල යෝජනාවක් මත අප දෙදෙනා හදුනාගෙන ගතවූයේ තවමත් මාස දෙකක කාලයක් පමණි. ඈ අපේ මංගල උත්සවය පිළිබදව සිහින දකින මොහොතේදී එම සිහින බිදදා මටත් වඩා හොද කොල්ලෙක් සොයා ගන්නයැයි මම ඇයට කියා සිටින්නේ කෙසේද ? අහිංසක පියවිට මාගේ තත්වය තේරුම්කර දීමට අවශ්‍ය වුවත් එය මට කළනොහැකිය. ආදරයේ පූජනීයත්වය මම ඉගෙන ගත්තේ ඇයගෙනි. ජීවිතය නිවැරදිව විදීමටත් කෙනෙක්ට ගෞරව කිරීමටත් මම ඉගෙන ගත්තේ ඇයගෙනි. එවන් උතුම් තරුණියකගේ ආදරයක් ලබා ගන්න තරම් මම පිංකර නැත. අතීතයේ කළ කී දේවල්වල විපාක දැන් මා පසුපස ලුහුබදිමින් සිටියි. එදා වපුරණ ලද බීජවල අස්වැන්න දැන් ලැබෙමින් පවති.

මට සමාවෙන්න පියවි. දහස්වාරයක් මට සමාවෙන්න. ඔබත් සමග කථා කිරීමට තරම් සුදුසු මානසික තත්වයක් දැන් මට නැත. මම දුරකථන ඇමතුමට පිළිතුරු නොදීම විසන්දිකර අනතුරුව ක්‍රියා විරහිතකර බිත්තිය දෙසට දමා ගැසුවෙමි. එය කැබලි වී යන්නට ඇත. ඒ මොහොතේදී බිත්තියේ රදවා තිබූ රාමු කරන ලද මගේ ඡායාරූපය මම දුටුවෙමි.

හිටි තැනින් නැගිට ඒ අසළට ගිය මම ඡායාරුපය ගලවාගෙන මේසය මත තබා ගත්තේ පුටුවේ වාඩිවන අතරේය. වසර කිහිපයකට පෙර ගත් එම ඡායාරූපයේ මම හිනාවෙමින් සිටින අපූරුව! එහෙත් මෙම හිනාව මට සමච්චල් කිරීමක්ද ? මගේ දුර්වලකම්වලට මේ ඡායාරූපය හිනා වෙන බවක් මට දැණුනේය. ඒ හිනාව යළි යළිත් දෝංකාර දී මට ඇසෙන්නට විය. තවත් ඉවසාගෙන සිටිය නොහැකි වූ මම ඡායාරූපයට සුරතින් පහරක් එල්ල කෙරුවෙමි. ආවරණයකර තිබූ වීදුරුව කැඩී ගියේය. එහෙත් ඡායාරූපයේ සිටින චංචල, වීදුරු කැබලිවලට මැදිවී තවමත් සිනාවී සිටින්නේය. මම ඡායාරූපය හෙමින් හෙමින් පිරිමැද්දෙමි. කැඩුණු වීදුරු කැබැල්ලක් මැදගිල්ල බදා ගත්තේ ලේ බිදුවක්ද මතු කරමිනි. වෙනදාට තුවාලයක් හෝ ලේ බිදුවක් හෝ දුටුවිට කලබල වන මට අද ඒ පිළිබදව කිසි හැගීමක් නැත. වීදුරු කැබැල්ල ඉවත් කෙරූ මම ඇගිල්ල මිරිකා ලේ බිදුවේ ප්‍රමාණය තව තවත් වැඩි කර ගත්තෙමි. ඒ සමගම අතීතයේ අමතක නොවන එහෙත් මේ තරම් කාලකන්නි තත්වයකට මාව පත් කරලීමට සමත් වූ ඒ මූසල සිදුවීම් එකතුවක ආරම්භක අවස්ථාව යළිත් මගේ මතකයේ හොල්මන් කෙරුවේය.

ඈ ' මංමුලා ' නම් විය. දුටු දුටුවන්ගේ නෙත් සිත් සැනින් වශී කර ගැනීමට සමත් රුවකට හිමිකම් කී මංමුලා, කාගේ කවුද ? පදිංචිය කොහේද ? ආදී ප්‍රශ්ණවලට දීමට අදටත් මා අසළ පිළිතුරු නැත. ඒ පිළිබදව ඇගෙන් අසා දැන ගැනීමට තරම් අවශ්‍යතාවයක්ද මට එදා තිබුණේ නැත. අවශ්‍ය වූයේ ඈ සමග කථා කිරීමටය, ඈ සමග කාලය ගත කිරීමටය, රහ බේරෙන ඇගේ සිරුරේ ස්පර්ශය ලැබීමටය.

ඒ වන විට පියවි මගේ ජීවිතයට පැමිණ නොසිටි අතර මම රැකියාවට පැමිණ එතරම් කාලයක්ද ගතවී නොතිබුණි. බස් නැවතුම්පලේදී මුණගැසුණු මංමුලාගේත් මගේත් දැනහැදුණුම්කම කෙළවර වූයේ නගරයේ සුපිරි නිවාඩු නිකේතනයක උඩු මහළේ සැප පහසු කාමරයක් තුළය.

එදා සවස මම ඉන වටා තුවායත් දවටාගෙන නාන කාමරයෙන් පිටතට පැමිණෙනවාත් සමගම මංමුලා මාවෙත පිහියක් සහ අඹ ගෙඩි කිහිපයක් සහිත භාජනයක් මට දී නාන කාමරයට රිංගා ගත්තාය.
' ඉක්මණට එන්නම් ' ඈ එහි දොර වසමින් පැවසුවාය. තුවාය පිටින්ම ජනේලය අසළට පැමිණි මම පිගානෙන් එක අඹයක් ගෙන එහි පොතු හැරීමට පටන් ගත්තෙමි. එහෙත් මගේ සිත ඈ අසළය. ඇගේ මත්වන හිනාව අසළය. එක්වරම පිහිතලයට දබරගිල්ල කැපුණි. පිහියත් අඹ ගෙඩියත් මේසය මත තැබූ මම දබරගිල්ලේ මතුවූ ලේ බිදුව පිසදා තුවාලය පිරික්සුවෙමි. ඒ මොහොතේ පිටුපසින් විත් මාව වැළදගත් මංමුලා මගේ නිරුවත් පපු ප්‍රදේශය හෙමින් හෙමින් පිරිමැද්දාය.

' තාම සුද්දකරේ නැද්ද ? ' ඈ මා ඉදිරියට පැමිණියාය.
' ඇයි මේ ?ඇගිල්ල කැපුණාද ? කෝ බලන්න '

ඈ මගේ දබරගිල්ල පරීක්ෂා කරමින් මොනවාදෝ කියවන්නට ගත්තාය. එහෙත් මට ඒ කිසිවක් ශ්‍රවණය නොවූයේ ඇගේ රුවට මා වශී වූ නිසාය. ළා කොල පැහැ තුවායෙන් ඇගේ සිරුරේ යම් ප්‍රමාණයක් ආවරණය වුවත් ස්ත්‍රී ලාලිත්‍යය දැක ගැනීමට එයින් බධාවක් නොවුණි. ඈ කථා කරණ විලාසයට මෙන්ම ඇගේ අශ්වාස ප්‍රශ්වාස ක්‍රියාවටද සාපේක්ෂව උස් පහත්වන තිසර යුවලක් වන් දෙපියයුරු ළා කොල පැහැ තුවායෙන් පිටතට පනින්නේ කොයි මොහොතේදැයි මග බලමින් සිටින්නෝය. තවමත් තෙත කොණ්ඩයෙන් මතුවන වතුර බිංදු ඇගේ මුහුණ සහ ගෙල සිපගෙන ආශාවෙන් පහළට රූරා යන්නෝය. මේ රූ සිරි විදින අතරේ ඈ මගේ කම්මුලට ඇන්නේය.

'කොහෙද අතරමංවුණේ ?'
'වෙන කොහෙද ඉතින්..... '
'රිදෙනවාද ? '
'ම්...මොකද්ද ?'
'වෙන මුකුත් නෙමේ, තුවාලේ '
'හ්ම්......'
'ගොඩාක් ? '
' ගොඩ....ක් '
මම ඇගේ මුහුණ දෙසට ළං වීමි.
' සනීප කරනවාද ? '
' හ්ම්.... '
ඈ මගේ තුවාල වූ ඇගිල්ල කටේ දමාගත්තාය.
' සනීප කරන්න කිව්වේ තුවාලේ නෙමෙයි....'

ඈ මට රැව්වාය.  දැන් මගේ ඇගිලි ඇගේ සිනිදු නිකටේ ස්පර්ශ විය. මම උවමනාවෙන්ම ඒ නිකට දෙකම්මුල් ආදිය හෙමින් හෙමින් පිරිමැද්දෙමි. ඇගේ මත්වූ දෙතොල්, කථා කරන දෙනෙත්, හැගුම්බර කෙදිරිය මාව ටිකෙන් ටික ප්‍රබෝධමත් කිරීමට සමත් වූවෝය. මම තව තවත් ඈට ළංවීමි.  

අප දෙදෙනාගේ තොල්පෙති අතර පරතරය ක්‍රමක්‍රමයෙන් අඩුවී ගොස් අවසානයේ පරතරය නැත්තටම නැතිවී ගියේ දෝතින්ම ඈව වැළද ගනිද්දීය. තවත් මොහොතකින් ඒ ළා කොල පැහැ තුවාය බිම හෙලීමට මගේ දෑතට හැකිවුණි. ඒ අවසරයෙන් මෙතෙක් වෙලා සිරවී සිටි තිසර යුවළ නිදහස්වී තව තවත් මාව ප්‍රබෝධමත් කළෝය. ලතාවක් තුරුවක වෙලෙන්නාක් මෙන් ඇගේ දෑත් මගේ නිරුවත් පපුව දිගේ විත් ගෙල වටා එතුණෝය. දැන් දැන් හෘද ස්පන්ධනය, ශ්වසන ක්‍රියාවලිය මෙන්ම මගේ රුධිර පරිවහන ක්‍රියාවලියත් වේගවත් වන බව මට හොදින්ම දැණුනේය. තවත් මොහොතකින් ඇගේ දෑත් මගේ ගෙල ප්‍රදේශයේ සිට පහළටත් පිට පුරාවටත් ඒ මේ අත සැරිසරන්නට පටන් ගත්තෝය. එහි ප්‍රතිඵලය වූයේ මගේ සිරුරේ රැදී තිබුණු තුවායද නිරායාසයෙන්ම ගෙබිම සිප ගැනීමයි. ගිණි ඇවිළුණු අපේ සිරුරු, රතිහරඹයේ සුව වින්දෝය. එදා සතුටක් වුවත් අද එය....

'චංචල මහත්තයා'
මෙහෙකරුගේ ඇමතීමෙන් මම කල්පනා ලෝකයෙන් කාමරයට වැටුණි.
'චංචල මහත්තයා, මේ දොර අරින්න'
මම දොර විවෘතකළ විට ඔහු මා දෙස බලා සිටියේ බිය මුසු මුහුණෙනි.
'ඇයි ?'
'ගෙදරින් මහත්තයාගේ අම්මා කථා කළා. මහත්තයාට කිව්වා ගෙදරට කථා කරන්න කියළා'
'හා'
'මහත්තයා...'
'ඒ පාර මොකෝ ? '
'කෑම ටිකක්.....'
'මට ඕන කෑමක් නෑ. එක සැරයක් කිව්වනේ'

මම වේගයෙන් දොර වැසුවෙමි. මේසය අසළ යළිත් හිද ගනිමින් හුදෙකලාව විද ගැනීමට හුරු වූයෙමි. වරෙක මංමුලාත් වරෙක පියවිත් තවත් වරෙක ඒ ලියවිල්ලත් මා ඉදිරියේ මැවී පෙනෙන්නට විය. පාලනයකින් තොරවූ හැගීම් සමග අයාලේ යන මා වැන්නවුන්ට උරුමවන ඉරණමද මේ ? මංමුලාට පෙර පියවි මුණගැසුනේනම් මගේ ජීවිතය සාර්ථක වීමට ඉඩතිබුණි. පියවි මුළු හදින්ම මට පෙම් කරන බව මම දන්නෙමි. එක අතකින් අපේ විවාහයට පෙර මෙසේ වීම හොදය. නැතිනම් මගේ වැරදිවලට වන්දි ගෙවන්න සිදුවන්නේ අසරණ ' පියවි' ටය. මම වහාම පියවිට ලිපියක් ලිවීමට සිතුවෙමි.  

මට සමාවෙන්න පියවි. සිය දහස් වාරයක් මට සමාවෙන්න. බුද්ධියට ඉඩ නොදී හැගීම්වලට වහල් වූ මට අද අත්වී ඇත්තේ භයානක ඉරණමකි. තවත් ඔබ මා වෙනුවෙන් දකිමින් සිටි සිහින, කරමින් සිටි ප්‍රාර්ථනා ආදිය නතර කරන ලෙස මම ඔබෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. ජීවිතය, ජීවත්වීම ආදිය දැන් මට තහනම් වූ වචනයන්ය. ඉතින් දුක් නොවී ඔබ ජීවිතයට මුහුණදෙනු ඇතැයි මම සිතමි. ඔබව සිහිකරමින් මා මේ ලෝකයේ රැදෙනුයේ තව සුළු මොහොතක් පමණි. වහලයේ බාල්කයත් මීට මොහොතකට පෙර මවිසින් එහි රැදවූ කඹයත් මගේ ගෙලේ උණුසුම් ස්පර්ශය බලාපොරොත්තුවෙන් නොඉවසිල්ලෙන් පසුවන බව මම දන්නෙමි. අද උදේ වෛද්‍ය පරීක්ෂණ මධ්‍යස්ථානයෙන් ලැබුණු ඒ මූසල ලියවිල්ලට අනුව මා දැන් ආසාදිතයෙකි. සුව කළ නොහැකි, හතුරෙකුටවත් බෝ නොවිය යුතු දරුණු සමාජ රෝගයකින් මම දැන් දැවෙමින් සිටිමි.

යළිත් දොරට ගසන ශබ්දය ඇසුණි.
'චංචල, චංචල. මේ දොර අරින්න, මම පියවි. උදේ ඉදන් මම ඔයාට කෝල් කරන්න හැදුවත් ඔයා එක වතාවක්වත් මට කථා කළේ නෑ'
පියවි කෑ ගැසුවාය. නමුත් මේ මොහොතේදී මට ඇගේ ඉල්ලීම ඉටු කළ නොහැකිය.

'අනේ චංචල මේ දොර අරින්නකෝ ! '
මම තවත් ඊට කන් නොදුන්නෙමි.

මට සමාවෙන්න පියවි. ඔබ සිතේ මා පිළිබදව වූ මතකයන් මේ මොහොතේ පටන්ම ඉවත්කර දමන්න. හැම මතකයක්ම නැතිකරගන්න. අවසානයේදී මම ඔබේ ' සුසුමකවත් නැවතුණිනම් ' මා වෙනුවෙන් ඒ සුසුමත් පිටකර අලුත් සුසුමකින් ජීවිතය පුරවා ගන්න. අලුත් ජීවිතයක් ගැන සිහින දකින්න. මම චංචල.

ලිපිය ලියා නිම කළ මම එය මේසය මත තබා ඉක්මනින්ම බාල්කයේත් ඒ ඔස්සේ පහළට එල්ලී වැනෙන කඹයේත් දොළදුක සංසිදුවීමි.


    -----  නිමි ----- 

Friday, August 5, 2016

මටත් හිතෙනවා අගමැති වෙන්නට..........

දුගී බව පන්නා දමන්නට
ඉක්මනින් දියුණුව ලබන්නට
පරම්පරාවට සළකා ගන්නට
මටත් හිතෙනවා අගමැති වෙන්නට

උපාධිදරයන් අඩු කරන්නට
උන්ගේ කටවල් වසා දමන්නට
උගත්කම සෝදා හරින්නට 
මටත් හිතෙනවා අගමැති වෙන්නට

පසු පසින් විත් මගේ දිනුමට
සහය වූ නූගතුන් පොදියකට
බුරුතු පිටින් රැකියා බෙදන්නට
මටත් හිතෙනවා අගමැති වෙන්නට

කු/ගලින් පොල් ඉඩමක් ගන්නට
අනුපුරේ හෝටල් හදන්නට
ටීවි එකකුත් පටන් ගන්නට
මටත් හිතෙනවා අගමැති වෙන්නට

ලොව වටා දුක සැප බලන්නට
ලෝකයන් හට සලකා ගන්නට
පාස්පෝට් කිහිපයකුත් ගන්නට
මටත් හිතෙනවා අගමැති වෙන්නට

මා නමින් හිරබත් ගිලින්නට
එකෙක් දෙන්නෙක් හිරේට යැවුමට
බැරිම නම් හොර ලෙඩ දා ගන්නට
මටත් හිතෙනවා අගමැති වෙන්නට

කුඹුරු ගොඩකර මාර්ග හැදුමට
රොකොට්ටුවක් අහසට යවන්නට
අහසේ මගෙ නම කොටා තබන්නට
මටත් හිතෙනවා අගමැති වෙන්නට

රටම කාලා සුවසේ ඉන්නට
දෙව් ලොවේ සැප මෙලොව විදින්නට
ජනපති පුටුවට කෙල හලන්නට
මටත් හිතෙනවා අගමැති වෙන්නට..........