Tuesday, August 9, 2016

සුසුමකවත් නැවතුණිනම්.........



ජීවිතය පිළිබදව මෙතෙක් මා දුටු භයානකම හෝඩුවාව රැගත් ඒ මූසල ලියවිල්ල අඩංගු ලිපි කවරය මම මේස ලාච්චුවෙන් පිටතට ගත්තෙමි. දෙතුන් වරක් නවා ගුලිකර තිබූ එම ලියවිල්ල, කවරයෙන් පිටතට විත් මා නෙතු ඉදිරියේ පෙනී සිටින්නේ කීවෙනි වතාවටද යන්න පිළිබදව මට හැගීමක් නැත. කෙසේ වෙතත් පළමු වතාවට මෙය මා ඉදිරියට පැමිණියේ අද උදෑසන බව පමණක් මට මතකය. මම එය දිග හැරියෙමි. දැල්වූ මේස ලාම්පුවේ ආළෝකය, කාමරය පුරා වූ අදුර පළවාහරින්නට අසමත් වුවද ලියවිල්ල බැලීමට ප්‍රමාණවත් විය. මගේ නෙත් ඒ ලියවිල්ල වෙත යොමුවිය.

දිනය, නම, වෙලාව, ප්‍රතිඵලය ආදී එහි සටහන් වූ සියල්ලක්ම දැන් මට කට පාඩම්ය. යළිත් මගේ නෙත් නතරවූයේ ඒ භයානක වූ ප්‍රතිඵලය මතයි. හීන් දාඩියකින් මුහුණ තෙත්වූ අතර තොල කට වෙලී ගියෝය. මම නැවතත් වියරු වැටුණු පුද්ගලයෙකු මෙන් කලබල වීමි. ඒ ලියවිල්ල ගුලිකර වීසි කරන මොහොතේදී මගේ සුරත වැදී වතුර වීදුරුව බිම සිප ගත්තේ වතුර මෙන්ම වීදුරු කැබලිද හැම තැනම විහිදුවමිණි. අවුල් වූ සිතුවිලිවලින් මගේ හිස පිරී බර වී ඇත. මම මේසය මත හිස තබාගත්තෙමි. ඒ මොහොතේ දොරට ගසන ශබ්දයක් ඇසුණේය.

' චංචල මහත්තයා, චංචල මහත්තයා.....' ඒ මගේ මෙහෙකරුගේ හඩයි.
'ඇයි'
'ඇයි මේ මහ දවාලේ දොර ජනෙල් වහගෙන.බල්බ් එක දාගෙනත් නෑ.'

අඩවන්කර තිබූ දොර විවෘත කරන ශබ්දය මට ඇසුණේය. තවත් මොහොතකින් විදුලි බල්බය දැල්වුණි. ඔහු එය දල්වන්නට ඇත.

' චංචල මහත්තයා බෙහෙත් ගත්තේ නැද්ද? තාමත් ඔලුව කැක්කුමද ?'
' දැන් හොදයි'
'උදේ දොස්තර මහත්තයා හම්බෙන්න ගියාද? ආ......වීදුරුවක් කැඩෙන සද්දෙටයි මම ආවේ. මේ තියෙන්නේ වීදුරු කෑලී.'
'මගේ අතින් වීදුරුව වැටුණා'
'ඉන්න මම අස් කරන්නම්.' ඔහු තව මොනවාදෝ කියමින් වීදුරු කැබලි ඇහිදින ශබ්දය මට ඇසුණි.
' දොස්තර මහත්තයා මොනාද කිව්වේ ? '
' මුකුත් නෑ. මගේ ඔලුවෙ කැක්කුම වැඩි නොකර මෙතනින් යනවාද ? '
' අනේ කේන්ති ගන්න එපා මහත්ත්යා. මම මේ.....'
'අයියෝ, යනවා යන්න මෙතනින්. ආවා වීදුරු කෑලී අහුලන්න '

මම පුටුවෙන් නැගිටමින් කෑ ගැසුවෙමි. අසරණ මෙහෙකරු තිගැස්සුණ අයුරු මම දුටුවෙමි. පව්. කලබල වී දිවයද්දී එකතුකෙරූ වීදුරු කැබලි කිහිපයක් බිම වැටුණු නමුත් ඔහු නතර නොවී කාමරයෙන් පිටට දිවගියේය.

ඔහු ගිය පසු මම දොර වසා අගුලු දැමුවෙමි. විදුලි බල්බයද නිවා දමා බිම හිදගනිමින් බිත්තියට හේත්තුවූයෙමි. ඒ ලියවිල්ලේ වූ භයානක ආරංචිය යළි යළිත් මට වදදෙන්නට විය. නුපුරුදු ඒ හැගීමත් සමග මම බිත්තියට හිස තබා ගෙන හුදෙකලා වීමි. මේස ලාම්පුවේ ආළෝකය මට සැනසීමක් ඇති කිරීමට සමත්විය. එක්වරම නාදදෙන්නට පටන්ගත් ජංගම දුරකථනය මගේ හුදෙකලාවට බධා කළේය.

ඇමතුම පැමිණෙන්නේ ' පියවි' ගෙනි. උදේ පටන් මට ඇමතීමට ඈ දරණ කීවෙනි උත්සාහයද මේ ?. එහෙත් වෙනදා මෙන් ඈ සමග කථා කිරීමට අද මට සිතක් නැත. ඈ සමග තව කුමක් පිළිබදව කථා කරන්නද ? මංගල යෝජනාවක් මත අප දෙදෙනා හදුනාගෙන ගතවූයේ තවමත් මාස දෙකක කාලයක් පමණි. ඈ අපේ මංගල උත්සවය පිළිබදව සිහින දකින මොහොතේදී එම සිහින බිදදා මටත් වඩා හොද කොල්ලෙක් සොයා ගන්නයැයි මම ඇයට කියා සිටින්නේ කෙසේද ? අහිංසක පියවිට මාගේ තත්වය තේරුම්කර දීමට අවශ්‍ය වුවත් එය මට කළනොහැකිය. ආදරයේ පූජනීයත්වය මම ඉගෙන ගත්තේ ඇයගෙනි. ජීවිතය නිවැරදිව විදීමටත් කෙනෙක්ට ගෞරව කිරීමටත් මම ඉගෙන ගත්තේ ඇයගෙනි. එවන් උතුම් තරුණියකගේ ආදරයක් ලබා ගන්න තරම් මම පිංකර නැත. අතීතයේ කළ කී දේවල්වල විපාක දැන් මා පසුපස ලුහුබදිමින් සිටියි. එදා වපුරණ ලද බීජවල අස්වැන්න දැන් ලැබෙමින් පවති.

මට සමාවෙන්න පියවි. දහස්වාරයක් මට සමාවෙන්න. ඔබත් සමග කථා කිරීමට තරම් සුදුසු මානසික තත්වයක් දැන් මට නැත. මම දුරකථන ඇමතුමට පිළිතුරු නොදීම විසන්දිකර අනතුරුව ක්‍රියා විරහිතකර බිත්තිය දෙසට දමා ගැසුවෙමි. එය කැබලි වී යන්නට ඇත. ඒ මොහොතේදී බිත්තියේ රදවා තිබූ රාමු කරන ලද මගේ ඡායාරූපය මම දුටුවෙමි.

හිටි තැනින් නැගිට ඒ අසළට ගිය මම ඡායාරුපය ගලවාගෙන මේසය මත තබා ගත්තේ පුටුවේ වාඩිවන අතරේය. වසර කිහිපයකට පෙර ගත් එම ඡායාරූපයේ මම හිනාවෙමින් සිටින අපූරුව! එහෙත් මෙම හිනාව මට සමච්චල් කිරීමක්ද ? මගේ දුර්වලකම්වලට මේ ඡායාරූපය හිනා වෙන බවක් මට දැණුනේය. ඒ හිනාව යළි යළිත් දෝංකාර දී මට ඇසෙන්නට විය. තවත් ඉවසාගෙන සිටිය නොහැකි වූ මම ඡායාරූපයට සුරතින් පහරක් එල්ල කෙරුවෙමි. ආවරණයකර තිබූ වීදුරුව කැඩී ගියේය. එහෙත් ඡායාරූපයේ සිටින චංචල, වීදුරු කැබලිවලට මැදිවී තවමත් සිනාවී සිටින්නේය. මම ඡායාරූපය හෙමින් හෙමින් පිරිමැද්දෙමි. කැඩුණු වීදුරු කැබැල්ලක් මැදගිල්ල බදා ගත්තේ ලේ බිදුවක්ද මතු කරමිනි. වෙනදාට තුවාලයක් හෝ ලේ බිදුවක් හෝ දුටුවිට කලබල වන මට අද ඒ පිළිබදව කිසි හැගීමක් නැත. වීදුරු කැබැල්ල ඉවත් කෙරූ මම ඇගිල්ල මිරිකා ලේ බිදුවේ ප්‍රමාණය තව තවත් වැඩි කර ගත්තෙමි. ඒ සමගම අතීතයේ අමතක නොවන එහෙත් මේ තරම් කාලකන්නි තත්වයකට මාව පත් කරලීමට සමත් වූ ඒ මූසල සිදුවීම් එකතුවක ආරම්භක අවස්ථාව යළිත් මගේ මතකයේ හොල්මන් කෙරුවේය.

ඈ ' මංමුලා ' නම් විය. දුටු දුටුවන්ගේ නෙත් සිත් සැනින් වශී කර ගැනීමට සමත් රුවකට හිමිකම් කී මංමුලා, කාගේ කවුද ? පදිංචිය කොහේද ? ආදී ප්‍රශ්ණවලට දීමට අදටත් මා අසළ පිළිතුරු නැත. ඒ පිළිබදව ඇගෙන් අසා දැන ගැනීමට තරම් අවශ්‍යතාවයක්ද මට එදා තිබුණේ නැත. අවශ්‍ය වූයේ ඈ සමග කථා කිරීමටය, ඈ සමග කාලය ගත කිරීමටය, රහ බේරෙන ඇගේ සිරුරේ ස්පර්ශය ලැබීමටය.

ඒ වන විට පියවි මගේ ජීවිතයට පැමිණ නොසිටි අතර මම රැකියාවට පැමිණ එතරම් කාලයක්ද ගතවී නොතිබුණි. බස් නැවතුම්පලේදී මුණගැසුණු මංමුලාගේත් මගේත් දැනහැදුණුම්කම කෙළවර වූයේ නගරයේ සුපිරි නිවාඩු නිකේතනයක උඩු මහළේ සැප පහසු කාමරයක් තුළය.

එදා සවස මම ඉන වටා තුවායත් දවටාගෙන නාන කාමරයෙන් පිටතට පැමිණෙනවාත් සමගම මංමුලා මාවෙත පිහියක් සහ අඹ ගෙඩි කිහිපයක් සහිත භාජනයක් මට දී නාන කාමරයට රිංගා ගත්තාය.
' ඉක්මණට එන්නම් ' ඈ එහි දොර වසමින් පැවසුවාය. තුවාය පිටින්ම ජනේලය අසළට පැමිණි මම පිගානෙන් එක අඹයක් ගෙන එහි පොතු හැරීමට පටන් ගත්තෙමි. එහෙත් මගේ සිත ඈ අසළය. ඇගේ මත්වන හිනාව අසළය. එක්වරම පිහිතලයට දබරගිල්ල කැපුණි. පිහියත් අඹ ගෙඩියත් මේසය මත තැබූ මම දබරගිල්ලේ මතුවූ ලේ බිදුව පිසදා තුවාලය පිරික්සුවෙමි. ඒ මොහොතේ පිටුපසින් විත් මාව වැළදගත් මංමුලා මගේ නිරුවත් පපු ප්‍රදේශය හෙමින් හෙමින් පිරිමැද්දාය.

' තාම සුද්දකරේ නැද්ද ? ' ඈ මා ඉදිරියට පැමිණියාය.
' ඇයි මේ ?ඇගිල්ල කැපුණාද ? කෝ බලන්න '

ඈ මගේ දබරගිල්ල පරීක්ෂා කරමින් මොනවාදෝ කියවන්නට ගත්තාය. එහෙත් මට ඒ කිසිවක් ශ්‍රවණය නොවූයේ ඇගේ රුවට මා වශී වූ නිසාය. ළා කොල පැහැ තුවායෙන් ඇගේ සිරුරේ යම් ප්‍රමාණයක් ආවරණය වුවත් ස්ත්‍රී ලාලිත්‍යය දැක ගැනීමට එයින් බධාවක් නොවුණි. ඈ කථා කරණ විලාසයට මෙන්ම ඇගේ අශ්වාස ප්‍රශ්වාස ක්‍රියාවටද සාපේක්ෂව උස් පහත්වන තිසර යුවලක් වන් දෙපියයුරු ළා කොල පැහැ තුවායෙන් පිටතට පනින්නේ කොයි මොහොතේදැයි මග බලමින් සිටින්නෝය. තවමත් තෙත කොණ්ඩයෙන් මතුවන වතුර බිංදු ඇගේ මුහුණ සහ ගෙල සිපගෙන ආශාවෙන් පහළට රූරා යන්නෝය. මේ රූ සිරි විදින අතරේ ඈ මගේ කම්මුලට ඇන්නේය.

'කොහෙද අතරමංවුණේ ?'
'වෙන කොහෙද ඉතින්..... '
'රිදෙනවාද ? '
'ම්...මොකද්ද ?'
'වෙන මුකුත් නෙමේ, තුවාලේ '
'හ්ම්......'
'ගොඩාක් ? '
' ගොඩ....ක් '
මම ඇගේ මුහුණ දෙසට ළං වීමි.
' සනීප කරනවාද ? '
' හ්ම්.... '
ඈ මගේ තුවාල වූ ඇගිල්ල කටේ දමාගත්තාය.
' සනීප කරන්න කිව්වේ තුවාලේ නෙමෙයි....'

ඈ මට රැව්වාය.  දැන් මගේ ඇගිලි ඇගේ සිනිදු නිකටේ ස්පර්ශ විය. මම උවමනාවෙන්ම ඒ නිකට දෙකම්මුල් ආදිය හෙමින් හෙමින් පිරිමැද්දෙමි. ඇගේ මත්වූ දෙතොල්, කථා කරන දෙනෙත්, හැගුම්බර කෙදිරිය මාව ටිකෙන් ටික ප්‍රබෝධමත් කිරීමට සමත් වූවෝය. මම තව තවත් ඈට ළංවීමි.  

අප දෙදෙනාගේ තොල්පෙති අතර පරතරය ක්‍රමක්‍රමයෙන් අඩුවී ගොස් අවසානයේ පරතරය නැත්තටම නැතිවී ගියේ දෝතින්ම ඈව වැළද ගනිද්දීය. තවත් මොහොතකින් ඒ ළා කොල පැහැ තුවාය බිම හෙලීමට මගේ දෑතට හැකිවුණි. ඒ අවසරයෙන් මෙතෙක් වෙලා සිරවී සිටි තිසර යුවළ නිදහස්වී තව තවත් මාව ප්‍රබෝධමත් කළෝය. ලතාවක් තුරුවක වෙලෙන්නාක් මෙන් ඇගේ දෑත් මගේ නිරුවත් පපුව දිගේ විත් ගෙල වටා එතුණෝය. දැන් දැන් හෘද ස්පන්ධනය, ශ්වසන ක්‍රියාවලිය මෙන්ම මගේ රුධිර පරිවහන ක්‍රියාවලියත් වේගවත් වන බව මට හොදින්ම දැණුනේය. තවත් මොහොතකින් ඇගේ දෑත් මගේ ගෙල ප්‍රදේශයේ සිට පහළටත් පිට පුරාවටත් ඒ මේ අත සැරිසරන්නට පටන් ගත්තෝය. එහි ප්‍රතිඵලය වූයේ මගේ සිරුරේ රැදී තිබුණු තුවායද නිරායාසයෙන්ම ගෙබිම සිප ගැනීමයි. ගිණි ඇවිළුණු අපේ සිරුරු, රතිහරඹයේ සුව වින්දෝය. එදා සතුටක් වුවත් අද එය....

'චංචල මහත්තයා'
මෙහෙකරුගේ ඇමතීමෙන් මම කල්පනා ලෝකයෙන් කාමරයට වැටුණි.
'චංචල මහත්තයා, මේ දොර අරින්න'
මම දොර විවෘතකළ විට ඔහු මා දෙස බලා සිටියේ බිය මුසු මුහුණෙනි.
'ඇයි ?'
'ගෙදරින් මහත්තයාගේ අම්මා කථා කළා. මහත්තයාට කිව්වා ගෙදරට කථා කරන්න කියළා'
'හා'
'මහත්තයා...'
'ඒ පාර මොකෝ ? '
'කෑම ටිකක්.....'
'මට ඕන කෑමක් නෑ. එක සැරයක් කිව්වනේ'

මම වේගයෙන් දොර වැසුවෙමි. මේසය අසළ යළිත් හිද ගනිමින් හුදෙකලාව විද ගැනීමට හුරු වූයෙමි. වරෙක මංමුලාත් වරෙක පියවිත් තවත් වරෙක ඒ ලියවිල්ලත් මා ඉදිරියේ මැවී පෙනෙන්නට විය. පාලනයකින් තොරවූ හැගීම් සමග අයාලේ යන මා වැන්නවුන්ට උරුමවන ඉරණමද මේ ? මංමුලාට පෙර පියවි මුණගැසුනේනම් මගේ ජීවිතය සාර්ථක වීමට ඉඩතිබුණි. පියවි මුළු හදින්ම මට පෙම් කරන බව මම දන්නෙමි. එක අතකින් අපේ විවාහයට පෙර මෙසේ වීම හොදය. නැතිනම් මගේ වැරදිවලට වන්දි ගෙවන්න සිදුවන්නේ අසරණ ' පියවි' ටය. මම වහාම පියවිට ලිපියක් ලිවීමට සිතුවෙමි.  

මට සමාවෙන්න පියවි. සිය දහස් වාරයක් මට සමාවෙන්න. බුද්ධියට ඉඩ නොදී හැගීම්වලට වහල් වූ මට අද අත්වී ඇත්තේ භයානක ඉරණමකි. තවත් ඔබ මා වෙනුවෙන් දකිමින් සිටි සිහින, කරමින් සිටි ප්‍රාර්ථනා ආදිය නතර කරන ලෙස මම ඔබෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. ජීවිතය, ජීවත්වීම ආදිය දැන් මට තහනම් වූ වචනයන්ය. ඉතින් දුක් නොවී ඔබ ජීවිතයට මුහුණදෙනු ඇතැයි මම සිතමි. ඔබව සිහිකරමින් මා මේ ලෝකයේ රැදෙනුයේ තව සුළු මොහොතක් පමණි. වහලයේ බාල්කයත් මීට මොහොතකට පෙර මවිසින් එහි රැදවූ කඹයත් මගේ ගෙලේ උණුසුම් ස්පර්ශය බලාපොරොත්තුවෙන් නොඉවසිල්ලෙන් පසුවන බව මම දන්නෙමි. අද උදේ වෛද්‍ය පරීක්ෂණ මධ්‍යස්ථානයෙන් ලැබුණු ඒ මූසල ලියවිල්ලට අනුව මා දැන් ආසාදිතයෙකි. සුව කළ නොහැකි, හතුරෙකුටවත් බෝ නොවිය යුතු දරුණු සමාජ රෝගයකින් මම දැන් දැවෙමින් සිටිමි.

යළිත් දොරට ගසන ශබ්දය ඇසුණි.
'චංචල, චංචල. මේ දොර අරින්න, මම පියවි. උදේ ඉදන් මම ඔයාට කෝල් කරන්න හැදුවත් ඔයා එක වතාවක්වත් මට කථා කළේ නෑ'
පියවි කෑ ගැසුවාය. නමුත් මේ මොහොතේදී මට ඇගේ ඉල්ලීම ඉටු කළ නොහැකිය.

'අනේ චංචල මේ දොර අරින්නකෝ ! '
මම තවත් ඊට කන් නොදුන්නෙමි.

මට සමාවෙන්න පියවි. ඔබ සිතේ මා පිළිබදව වූ මතකයන් මේ මොහොතේ පටන්ම ඉවත්කර දමන්න. හැම මතකයක්ම නැතිකරගන්න. අවසානයේදී මම ඔබේ ' සුසුමකවත් නැවතුණිනම් ' මා වෙනුවෙන් ඒ සුසුමත් පිටකර අලුත් සුසුමකින් ජීවිතය පුරවා ගන්න. අලුත් ජීවිතයක් ගැන සිහින දකින්න. මම චංචල.

ලිපිය ලියා නිම කළ මම එය මේසය මත තබා ඉක්මනින්ම බාල්කයේත් ඒ ඔස්සේ පහළට එල්ලී වැනෙන කඹයේත් දොළදුක සංසිදුවීමි.


    -----  නිමි ----- 

19 comments:

  1. ඕ......හරිම ෂෝචනීයයි.....ලියවිල්ලට මනාපයි....මටත් රිසාල්ට් ආවහම :D

    ReplyDelete
    Replies
    1. ස්තූතිය රසිකටයි.
      ඇයි රිසාල්ට් ආවාම ? ජොබක් හොයා ගන්නද කැම්පස් යන්නද නැත්තම් අඹ සුද්ද...නෑ නෑ ඕන නෑ.

      ජයවේවා!!!

      Delete
  2. අයියෝහ් . . සියදිවි නසා ගැනීම කියන්නේ ප්‍රශ්නයකට පිලිතුරක් නෙමේ ප්‍රශ්නයකින් පැන යාමක්. මේ වගේ සිදුවීමකදී ගෑනු ළමයත් පවුලේ අයත් එක්ක කතා බහ කරලා විසඳගන්න පුලුවන් ලේසියෙන්ම. .. නමුත් පටු විදිහට නොහිතන අයට විතරයි එහෙම කරන්න පුලුවන්

    ReplyDelete
    Replies
    1. දුකාත් මේ පැත්තට ආව එක ගැන සතුටුයි. ඇත්තටම සියදිවි හානිකර ගැනීම උත්තරයක් නෙමෙයි. නමුත් මේ වගේ තත්වෙකට පත්වූ බොහෝ දෙනාගේ තීරනය මේක තමයි. වැරැද්ද තියෙන්නේ එතනයි. මට කථාවෙන් කියන්න ඕන වුණෙත් ඒ දේම තමයි.

      ජයවේවා!!!

      Delete
    2. ඇත්ත සමහර විට මේක කියෝපු කෙනෙක්ට මේ වගේ දේකට මූන දෙනන් උනොත් හිතෙයි අර කතාව බලලා මට හිතුනේ අපරාදේ ඒ වගේ පොඩි දේකට මැරෙන එක කියලනේ. ඉතින් මාත් මේ අවස්තාවට හොඳින් මූන දෙනවා කියලා හිතලා හරි දේ කරයි.

      Delete
    3. එහෙම වෙන්නත් පුලුවන්. ඒත් කාටවත් එවන් ඉරණමක් ලැබෙන්න එපා කියලයි ප්‍රර්ථනා කරන්නේ.

      ජයවේවා!!!

      Delete
  3. දුමී අපූරුවට කතාව ගලපලා තියනවා...හැඟීම් වලට වහල් වීමේ ආදීනව...මිනිස්සු සමහර වෙලාවට ජීවිතේ ගැන ක්ෂණික තීරණ ගන්නවා, ප්‍රශ්නයකට විසඳුම් හොයන්න මහන්සි වෙනවට වඩා ඒවායින් පැන යාම පහසුයි...

    නිසඳැස් නිර්මාණ අතරට මේ වගේ කථාත් ලියන්න...

    ReplyDelete
    Replies
    1. ඔය වගේ තත්වයකට පත්වෙච්ච බොහෝ අය ඉක්මන් තීරණවලට එළබෙනවා, ඒක හරිද වැරදිද කියළා තීරණය නොකරම.
      අදහසට ස්තූතියි, පොකුරු.
      කවි අතරේ ලියු තුන්වෙනි කෙටි කථාවයි මේ. බලමු ඉදිරියටත්.

      ජයවේවා!!!

      Delete
  4. කාමයෙහි වරදවා හැසිරෙන්න එපා කිව්වෙ ඔන්න ඕකටයි. ටිකක් ඉවසල හිටියනම් පියවි එක්ක විවාහ වෙලා ලස්සනට ජීවත් වෙන්න තිබුණනෙ. අපූරුයි ලියමන.
    ජය වේවා

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත හීනී. අප අතරෙම ඉන්න චංචලට මේ ටික තේරුම් ගන්න බැහැනේ. අදහසට ස්තූතියි.

      ජයවේවා!!!

      Delete
  5. හරිම අපූරුයි මේ ලියවිල්ල... අදමයි මේ පැත්තට ආවේ.ඉඩ තියෙන වෙලාවත් අනිත්වට කියවලා බලන්නම්. ජය වේවා...

    ReplyDelete
    Replies
    1. ස්තූති කාව්‍යා. "දුමී" ට සාදරයෙන් පිළිගන්නවා.

      ජයවේවා!!!

      Delete
  6. දුමීගේ ලියවිල්ල අගෙයි.. තරහ ආවේගය කලකිරීම පසුතැවීම තව ටිකක් වචන වලින් පෙන්නුවා නම් හොඳයි කියලා හිතුනා...සියදිවි හානි කර ගන්න කෙනෙක් ගැන මට තියනවා අමතක නොවෙන අත්දැකීමක් හිනෙන්වත් නොහිතපු.. මට ඒක ලියන්න ඕන. ඒත් හිත....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි හීන දකින්නී. ඇත්තටම මේක ගොඩක් දිග එකක් වෙන හින්දාම ලියපු බොහෝ දේවල් කපල කොටල ඉතිරිය තමයි දැම්මේ. ඒත් ආයිත් ලියද්දී ඔබ කිව් දේවල් ගැන සැලකිලිමත් වෙන්නම්.
      ප්‍රසිද්දියේ ලියන්න පුලුවන් දෙයක් නම් ලියන්න හීන දකින්නී. එකෙන් යම් පණිවිඩයක් අපිට දෙන්න හැකි නම් වටිනවා. ඒත් " හිත " ?

      ජයවේවා !!!

      Delete
    2. ප්‍රසිද්ධියේ ලියන්න පුලුවන් දුමී. ලියන්න උත්හස කරලා නවත්තලා දැම්මා,බලමු ඉදිරියේ...

      Delete
    3. එහෙනම් ලියමු. මොකද කෙනෙක්ට දැනෙන්න කෙනෙක්ගේ හිතට කාවදින්න පුලුවන් වෙන විදිහට ලියන්න හීන දකින්නීට පුලුවන්නේ. ජීවිතය ගැන හීන දකින්නී ලියන ලිපි පෙලින් ඒ දේ ඔප්පුවෙනවා. ඒ හින්දා ලියන්න පටන් ගමු.

      ජයවේවා!!!

      Delete
  7. ඒකනම් මරු සහෘදයා.ඒක තමයි සුද්දා කිව්වේ "Safety first" කියලා

    ReplyDelete
  8. ඒකනම් මරු සහෘදයා.ඒක තමයි සුද්දා කිව්වේ "Safety first" කියලා

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සහෝ.

      ජයවේවා!!!

      Delete