Monday, December 26, 2016

ඈ යන්න ගියා.......

ඈ යන්න ගියා......
මොනා කියන්නද
මොනා ලියන්නද.....
හිටිහැටියෙම
සුළඟ වගේ හීතල වෙච්චි හදවතත්
ගස් වැල් වගේ එහෙ මෙහෙ සෙලවෙන වචන ටිකත්
කුරුල්ලන් වගේ නිදහසේ පියාඹන සිතුවිලිත් අරන්
ඒ විතරක් නෙමෙයි......
අමාරුවෙන්ම
හොයාගත්ත මගේ....
කවිකාර හිතත් අරන්
මට හොරෙන්ම
ඈ යන්න ගියා........
ඔව්,
ඈ යන්න ගියා.......

Sunday, December 18, 2016

සඳ දිය සේල සිතුවම් බොඳ කරද්දී..............


සඳ දිය සේල සිතුවම් බොඳ කරද්දී
ඉඳගෙන වටේ තරු තනිකම මකද්දී
විඳ විඳ වළාකුළු දුක් ගී ගයද්දී
හදවත රිදෙයි ඔයාව සිහි කරද්දී

හුළං සැරට එහෙ මෙහෙ දුව පනිද්දී
වහං වෙන්න බෑ සුවඳක් දැනෙද්දී
පතං ආව ආදරෙ කටු ඇනෙද්දී
බලං ඉන්න බෑ විරහව දැනෙද්දී

නැහැවෙන සීත උඳුවප් මහ ලබද්දී
ඇහැ පිං කෙරුවෙ ඔයාගෙ රුව දකිද්දී
බැහැ සැනසෙන්න ඒ මතකය මැවෙද්දී
ඇහැ රතුවෙනව මේ හීතල දැනෙද්දී

හඳක සිරිය උඳුවප් මහ දිළෙද්දී
මතක මැවෙයි මළබෙර හඬ ඇහෙද්දී
දිනක ඉපිද හැකිනම් සැරිසරද්දී
ළඟක ඉඳින් මගෙ හදවත හඬද්දී...........

Monday, December 5, 2016

පොවා උන්ට වස මැරෙන්නට මට හිතුණෙ නැතිවිට නිදහසක්........

පාට නැති මල් ඔහේ පැද්දෙයි දකින්නට හොඳ සිහිනයක්
කාට තිබුණත් කෝ එවන් පින ලබා ගන්නට නෑ ඉඩක්
රෑට සුසුමන් දකින සුරපුර ඉසුරුමත් වූ ජීවයක්
තීට සුභවෙයි නුදුරු දිනයක නැකත්කරු කීවා දිනක්

පියා නැති පොඩි එවුන් මහගෙයි බිත්ති අතරට හිර කරන්
ගියා නොව සිදුවුණා යන්නට පපුව එදවස ගිණි අරන්
නොයා ඉන්න හිත බල කරත් දිවි ගමන රැදුණේ දුක අරන්
සොයා ගියමුත් කාසි රැදුණේ කතරෙ අපා දුක හැම දරන්

දිවා උදයේ රැයේ හෝ නැත ලබන්නට පොඩි නිදහසක්
දවා රිදවයි යකඩ රත්කර වැරදි ගැන නෑ අදහසක්
ගෙවා නොතිබුණු වැටුප වෙනුවට කෑගසයි ගෙන උදහසක්
පොවා උන්ට වස මැරෙන්නට මට හිතුණෙ නැතිවිට නිදහසක්

ඇඟේ දිරි නෑ වැටුපකුත් නෑ හාම්පුතු රකුසකු වැනී
උගේ දොලදුක නොනිව් ළඳකගෙ ගෙලට කඹයක් පැටලුණී
මගේ හිතවත් සොයුරියන් තව කතරෙ දුක් ගිණි විඳ ගණී
අගේ මගෙ රට එපා කතරට යන්න නරකාදිය වැනී............