Monday, March 20, 2017

හිඳ අසළ පෙම ස්වරය ගළපමු වින්ඳ සෙනෙහස මට මදී..........


සහස් ගව් දුර ගෙවා දිවි මග නෙතට හසුවුණු ගැටිස්සී
අහස් කුස මැද උදුල සඳවත රුවට සම වන ළමිස්සී
දහස් නෙතුයුග නොවේ අප දෙස ඇයිද සොඳුරිය තිගැස්සී
රහස් මුමුණන විහඟ නිහඬය කිමද යන්නට හදිස්සී

සසල සුළඟක් සිතිජ ඉම හිඳ කොමල සිනහව රඳවතී
නිසල තුරු මත ලතාවෝ නිති වෙළී සිසිලෙන් සැනසෙතී
අසළ තුරුළුව දැණෙන උණුහුම විඳින්නට බොහො සිත් ඇතී
සසල වෙයි හිත දුරස්වන සඳ හිඳින් මොහොතක් සඳවතී

බොඳ වෙලා පිපි ධවල මීදුම කඳු සිරස සනහා ඇදී
හද කළම්බන සිසිල පතුරා වැළඳ සැනහෙයි නිල් නදී
සඳ වඩින තුරු නිලම්බර මත සතුට පරවෙන්නට නොදී
හිඳ අසළ පෙම ස්වරය ගළපමු වින්ඳ සෙනෙහස මට මදී..........




(1)

42 comments:

  1. ළගදී ලිව්ව කවි වලින් වැඩිපුරම ප්‍රේමණීය බවක් දැනුනු කවියක් තමයි මේක

    සඳ වඩින තුරු නිලම්බර මත සතුට පරවෙන්නට නොදී
    හිඳ අසළ පෙම ස්වරය ගළපමු වින්ඳ සෙනෙහස මට මදී..........

    ඒ ට්ක මරු.කවියකටවත් වඩා ගීතවත් පද ටිකක්

    ReplyDelete
    Replies
    1. ස්තූතියි රෝමෝ, හැමදාමත් කරන මේ ඇගයීමට.

      ජයවේවා!!!

      Delete
  2. අපූරු පද ගැලපුමක් වගේම අපූරු රිද්මයක්.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ආයුබෝවේවා. ස්තූතියි ඉශානී...

      ජයවේවා!!!

      Delete
  3. හොද නිර්මාණයක් දුමී..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි වැව්. ඔය ඇගයීම වටිනවා.

      ජයවේවා!!!

      Delete
  4. Replies
    1. ස්තූතියි යාත්‍රා....
      ජීවිතේ යාත්‍රාව පැදයන්නත් සෙනෙහස අවශ්‍යමයි.

      ජයවේවා!!!

      Delete
  5. පේ‍්‍රමය පේ‍්‍රමනීය විදිහට ගීතවත් කරලා තියේනවා හරිම අපුරුයි දුමි

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අසංග. නිර්මාණය දැනෙනවනම් සතුටක්.

      ජයවේවා!!!

      Delete
  6. හරිම අපූරු ගීතවත් පද පෙලක්. ආදරේ උතුරන . වචනයක් වචනයක් ගානෙ විඳින්න පුලුවන්. මම හැමදාමත් ඔයා ගෙ කවි විඳිනව දුමී. ජයවේවා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කටකාරී. විඳින්න පුලුවන් නිර්මාණයක්නම් සතුටුයි. දිගටම මේ දක්වන අදහස් මගේ නිර්මාණවලට දිරියක්. ඉදිරියටත් "දුමී" ළඟින්ම ඉඳගෙන නිර්මාණ විඳින්න. අඩුපාඩු කියන්න. ඒක මට සවියක්.

      ජයවේවා!!!

      Delete
  7. ෂෙහ්...ඔයා මාරයි විජේ...කියල කිව්වලු!

    (ඒ මාරයි විජේ කතාව ගැන ඒ හැටි හිතන්න එපා මල්ලි..ඒක මේ අපේ කාලෙ කතාවක් ....)

    හරිම අපූරුයි බොලේ......මටත් හිතෙනව කවියක් දෙකක් ලියන්ට...:)

    ReplyDelete
    Replies
    1. //ෂෙහ්...ඔයා මාරයි විජේ...කියල කිව්වලු!// රවීගේ අත්තම්මත් මේ වගේම වචන ටිකක් කිව්වා කියලා රවී කිව්ව වගේ මතකයක් තියෙනවා.
      කවි ලියන්න බැරි කමක් නැතිබව රවී ලියන පිළිතුරු කවිවලින් පේනවා. ඉතින් ලියමු ලියමු දැන් කවි පෙළක්...
      ස්තූතියි රවී.....

      ජයවේවා!!!

      Delete
  8. ඔයාගේ මම කියවපු ලස්සනම කවියක් මේක හරිම අපූරුයි දුමී. ඒත් මේ පාට වෙනස් කලානම් හොදයි කියලා මට හිතෙනවා කවියේ තියෙන සෞම්‍ය ගතියට මේ රතු පාට හරියන්නෙ නෑ

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සඳූ..
      ඒ වගේම සඳූගේ යෝජනාවටත් එකඟයි. කළබල වැඩ අස්සේ හදිස්සියට කවිය දැම්මේ. හෙට උදෙන්ම ඒක වෙනස් කරන්නම්. මගේ නිර්මාණ මේ තත්වයට එන්න ඔය අදහස්වලින් ලැබෙන්නේ ළොකු උදව්වක්.

      සඳූගේ අර මුද්දෙ කතාවත් ආසාවෙන් කියෙව්වේ.

      ජයවේවා!!!

      Delete
    2. ඔව් බන් පාට සැර වැඩියි

      Delete
    3. සඳූ, රෝමෝ....
      ඔන්න හැදුවා. ස්තූතියි අඩුපාඩු කිව්වාට.

      ජයවේවා!!!

      Delete
  9. අතිශය ප්‍රේමණීයයි.....වින්දා එය

    ReplyDelete
    Replies
    1. ස්තූතියි විසිරී...
      විඳින්න පුළුවන් තරමට ලියවුණානම් සතුටක් මට.

      ජයවේවා!!!

      Delete
  10. Rasayen pirunu kavi pelak Dumi..

    Font color eka change karanna..

    Sorry for English.. Typing from the phone...

    ReplyDelete
    Replies
    1. onna Weredda heduwa.
      sthuuthiyi pokuru.

      It,s Ok.
      Jayaweawaa!!!

      Delete
  11. එකම හුස්මකට වෙමු රැය නිවෙන තුරාවට .

    සහස් සුවහස් පැතුම් පොදි බැඳ උරහිසට ඔබෙ තුරුළු වී
    අහස් ගව්වේ නොපෙනෙනා ඉම සිනා තවරමි නොසෙල් වී
    දහස් මුවඟින් නැතත් සු' පැතුම් ලෝකයාගෙන් වහං වී
    රහස් කොඳුරමු අපේ ගැන අපි සදහටම දැන් අපේ වී

    සසල මුත් මගෙ සිතුම් සිතුවිලි ඔබේ නෙත් තරු අභිමුවේ
    නිසල දැහැනකි සමවැදෙන්නට හෙමින් ගැහෙනා ප'පුතුරේ
    අසල ගැවසෙමි නොයා දුරකට ඔය සුසුම් සුව උණුහුමේ
    කුසල ඇති මම ගෙනා පොඳි බැඳ නුඹේ වෙන්නට මේ භවේ

    හද වෙලා උන් තනිකමේ සළු මුදනවා දැක කෝලවී
    සඳ මොකෝ මේ බිම බලාගෙන කලුවරට තව මුවාවී
    මඳ සුළං රැළි ඇවිත් අවුලන නුහුරු හැඟුමට කිතිකැවී
    බොඳ වෙලා නෙතු ඉවුරු දෑලින් සතුටු කඳුළක් ගළාවී

    ReplyDelete
    Replies
    1. කලින් එකටත් කවියක් ලියන්න උවමනාව තිබුනා ඒත් ලියා ගන්න බැරි උනානේ ඒකටත් එක්ක ඔන්න මේකට ලිව්වා

      Delete
    2. සඳූ..සඳූ....සඳූ.....
      ආදරේ බේරෙන පිළිතුරක්. ගිය වතාවෙත් බලන් හිටියා කවියක් දායි කියළා. ඒක නැතත් මේ කවියනම් හැබෑම සුන්දරයි. ඔය වගේ ප්‍රතිචාර නිසාම තව තවත් කවි ලියැවේවී, ඉදිරියටත්. ස්තූතියි මේ ලස්සන පිළිතුරට.

      ජයවේවා!!!

      Delete
    3. දුමී .. දුමී..දුමී... ස්තූතී ඉතින් ඔයගේ කවිය නිසයි මේ කවිය ඉපදුනේ.

      Delete
  12. ශා.... මරු කවි ටිකක්....

    ReplyDelete
    Replies
    1. ආයුබෝවේවා. සතුටුයි මේ පැත්තට ආ එකට.
      ස්තූතියි අරූ.

      ජයවේවා!!!

      Delete
  13. එකම කැදැල්ලකට වෙමු දිවිතුරාවට

    සොබාදහමින් කරන රංගන උමතු අංගන බෝ ඇතේ
    තබා ගන්නට හැකිද නොහැකිද සිතා ගනු බැහැ තතු නැතේ
    ලබා දෙන්නට සෙනෙහසේ සුව කෙනෙක් සොයනෙමි දස අතේ
    පබාවත නුබ වෙනවාද මගෙ දිවිතුරාවට සදවතේ

    කෝල සුකුමළ පාන සිනහව ආල බන්දයි සිතැත්තී
    මාල අභරණ නුබට කුමටද රූපෙ දිදුලන මුවැත්තී
    නීල සථුවක සේද සිතුවම වාගෙ පියකරු රුවැත්තී
    දාල යන්නේ කෙලෙස සොදුරිය තාම නැහැ නොවැ රහත්වී

    ඔහෙල ඔක්කොම කවි ලියද්දි හදිසියෙන් හරි මමත් ලියනව කියල හිතුවා 😬😬

    ReplyDelete
    Replies
    1. කවිය වෙත පෙම බැන්ඳ හින්දම කවි කියා අද සතුටු වී
      කවිය ලියලා කොමෙන්ට් කරලා නෙරංජන් ඇත සිනා වී
      කවිය ඇතුළත ලියක මහිමය කියන්නට අද සමත් වී
      කවිය සදිසිම ලියක ඇති තැන කොහොම ඉන්නද රහත් වී.......

      අපූරු කවියක් නෙරංජන්. කවියක් නම් "දුමී" ගෙන් ඉඩක් තියෙයි හැමදාමත්ම.

      ජයවේවා!!!

      Delete
    2. වාව්... මේකනම් නියමයි නෙල්ලි... ඇය් අප්පා මෙච්චර ටැලන්ට් එකක් තියාගෙන අර බ්ලොග් එකෙ අරෙහෙ මකුලු දැල් බැදෙන්න ඇරලා

      Delete
  14. සදූගෙ පිළිතුරු කව දැක්කම මටත් ලියන්නම හිතුනා.

    ReplyDelete
    Replies
    1. සතුටුයි.

      ජයවේවා!!!

      Delete
  15. දුමින්ද මචං උඹ පට්ටම talented... සඳවතී වගේම නෙල්ලි... ඔහේලා මාරයි ඇත්තටම ... මට හිතා ගන්න බැහැ ඔය වචන කොහෙන් ඔහෙලට එනවද කියලා

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි කොච්චී...
      කවි ලියන්න මහ ළොකු හැකියාවක් මට නෑ බං. පුලුවන් විදිහට ලියලා දානවා.
      ඔව් ඔව්. මෙතන සඳූ, නෙරන්ජන් ලියලා තියෙන පිළිතුරු කවි දෙකත් රසින් පිරිලා.

      ජයවේවා!!!

      Delete
  16. සහස් භව වල වැරදුනේ ඔය ගින්නෙ අසුවී පිළිස්සී
    සසරෙ නොරැඳී යන්න බලපන් හිතෙන් අත්හැර කකුස්සී

    ReplyDelete
    Replies
    1. පහස කිය කිය මිරිගු ළොව මත තවත් විඳවයි මනුසතා
      රහස දී ඇත ඉන් මිදෙන්නට මිනිස් කුලයට සෙත් පතා......

      ස්තූතියි ඉයන්, සරළව ලියැවුණු එහෙත් හරවත් ලිපියක් ගැන පාර පෙන්නුවට.

      ජයවේවා!!!

      Delete
  17. හැමදාම කියනවා වගේ දුමිගේ කවි හරි රහයි... වචන දෙකක් නෑ...

    ReplyDelete
    Replies
    1. පිලෝ...
      මම ළඟනම් වචන දෙකක් තියෙනවා බං.
      ඒ තමයි...
      " බොහොම ස්තූතියි"

      ජයවේවා!!!

      Delete
  18. ලස්සනට ලියලා තියෙනවා අයියේ... ජයවේවා...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මිතිල.

      ජයවේවා!!!

      Delete