Monday, March 5, 2018

මැදින් මහ මැද සැනසුමයි මට සිනාසෙනු මගෙ රත්තරන්.......


සීත හිරිගඩු නලිය නලියා හීතලම තව ගුලිකරන්
ඈත වැව් දිය සුවඳ සිඹ සිඹ ඇදෙයි දෙසිතම එක්කරන්
ගීත පදවැල් කොඳුරමින් ඔය ආදරේ දෙසිතට අරන්
දෑත දිගුකර තුරුළුවූ හැටි තාම මතකයි රත්තරන්


නිසල නිලඹර මතම දඟදා මීදුමේ හැඩ වැඩිකරන්
සසල වී වැව් ජලය මත්තෙම හාදුදෙයි උණුහුම දරන්
ඇසල මල්පෙති සොඳුරු රැඟුමක රඟයි අප දෙස නෙත් ඇරන්
අසළ සිනහව හුරතලෙන් තව හිත නිවෙයි මගෙ රත්තරන්


හදින් හදවත පැටලි රඟදෙන සෙනෙහෙ ගතටම හිරකරන්
නදින් රැව්දෙන විහඟ තනුවට සවන්යුග නිති යොමුකරන්
විඳින් නට සුව සසරෙ යළි යළි නුඹම මතකයෙ ළංකරන්
මැදින් මහ මැද සැනසුමයි මට සිනාසෙනු මගෙ රත්තරන්.......








( නැගුණි අහසක රටා පෙළහර පියඹලා යන  සියොතුනේ
  පිපුණි අදහස් සුවඳ පිරිලා කවි මලක් ලෙස හැම දිනේ
  හැඟුණි නෑකම් සොඳුරු සිත් ලෙස සහෝදරකම සතුටිනේ....????  )

49 comments:

  1. අතිශයින් සුන්දරයි! මේ විරිත ශ්‍රී ලංකික අපේ ජීවිත වලට පුදුමාකාර විදියට බද්ද වුනු ගතියක් දැනෙනවා. එම විරිතට අරුත්බර වචන එකතු උනාම...?

    ReplyDelete
    Replies
    1. ස්තූතියි තට්ටයා. ඔව් මේ විරිත අපිට සමීපතම එකක් තමයි. එයින් දුකක් සතුටක් හෝ වෙනත් හැඟීමක් ගන්න පුළුවන් අපි ගළපන වචනවලින්.

      ජයවේවා!!!

      Delete
  2. මේක මටත් තේරෙනවනෙ, රස විඳින්න පුලුවන්නෙ.
    ඒ කියන්නෙ කවි නෙමෙයිද මංදා.

    ReplyDelete
    Replies
    1. අනේ මංදා ප්‍රා. ජේ. මේක මොකද්ද කියළා. කොහොමහරි ගිය වතාවෙ හැමෝටම වැටහෙන කවියක් ලියනවා කිව්ව හින්දම මේක ලිව්වා. විශේෂයෙන්ම ප්‍රා. ජේ. ට වැටහුනානම් එය සතුටක්. ස්තූතියි.

      ජයවේවා!!!

      Delete
  3. ම්ම්ම්ම් බලමු පිලිතුරක් ලියන්න

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්ම්ම්ම් හ්ම්ම්ම්ම්ම්. බලාඉන්නවා මග....

      ජයවේවා!!!

      Delete
    2. This comment has been removed by the author.

      Delete
  4. Replies
    1. ආදරේ දෝරෙ ගලන හිත් දෙකක්, මොන වැටක් ගහලවත් වෙන් කරන්න බෑ නොවැ....
      ස්තූතියි තඩියා...

      ජයවේවා!!!

      Delete
  5. බක්මහත් ලගලගම පැමිණෙයි සිත්වලට සතුටක් අරන්................................................. ගහේ එරබදු මල් පිපෙන්නේ ගමට අවුරුද්දත් අරන්............................................ ඔබේ සෙනෙහේ ලැබුනේ නෑ මට දෑවුරුද්දක් ගොස් ඉතින්.................................................. නැතිද ඔබහට මතක් වෙන්නේ දුක නැද්ද මගේ රත්තරන්!!!!!!!!!!

    ReplyDelete
    Replies
    1. මහේ බක් අග වෙසක් මහ ජය නැකත් උතුරයි ඉඩ අරන්
      ගහේ එරබදු පැහැය අරගෙන සේල සරසමි ළංකරන්
      මෙහේ දෙවසර හිටියෙ දුකකිනි නුඹව මතකයෙ හිරකරන්
      සහේ ගන්නට හනික එමි මම සතුටුවී ඉනු රත්තරන්.....

      ලස්සනයි ඉරෝමනී පිළිතුර. ස්තූතියි.
      ජයවේවා!!!

      Delete
  6. මොනාද බං ලියන්නෙ... හැක් හැක්

    ReplyDelete
    Replies
    1. මටත් හිතාගන්න බැහැ බං. ඔන්න ඔහේ ලියනවා.... නැත්තන් බ්ලොගය පාලුවට යනවනේ....:)
      ස්තූතියි දේශකයා

      ජයවේවා!!!

      Delete
  7. දුරු තු මාසේ සිහිල් සුළඟත් ඇඟෙහි දැවටී වෙරඅරන්
    කැළතු සිත් තුල සැනසුමක් එන වසන්තය එබීකම් කරන්
    එම තු නොව තව වෙසක් සමයෙදී පෙනෙන විට මල් පලදරන්
    බුරු තු වැසි මෙන් ලැබේ ආසිරි සොම්නසින් හද සිහිකරන්

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දයාවී මහත්මා මේ අපූරු කවි පිළිතුරට.

      ජයවේවා!!!

      Delete
  8. නීල කඳු ගැට සිරස සිඹ සිඹ සීත මීඳුම වට කරන්
    දෑල දෙවුරේ පීන පීනා රහස් කොඳුරන හසඟනන්
    කෝල කර කර පාන රැඟුමට තුන් හිතම මගෙ නතු කරන්
    ආල අනුරා දෑස විදහා සිනාසෙනු මැන රත්තරන්

    පෑව සෙනෙහස ඈත භවයක හුරුකමක් හිතටම කරන්
    ආව හැටි නුඹ මගේ දිවියට සෙනෙහම දෝතට අරන්
    කාව වත් මට දැනුනෙ නෑ ආදරේ වෙන්නට නුඹ තරන්
    පාව යන්නට එපා ඈතක ආදරෙයි මම රත්තරන්

    ගතින් මහ දුර ඈතකට වී ගියත් සෙනෙහස ගුලි කරන්
    හදින් පිටමං කරන්නට පුලුවන්ද මතකය මට කියන්
    ඉතින් දවසක යද්දි සදහට ඈත්වී නෙතුයුග පියන්
    ළඟින් ඔබ උන් මතකයම මම අරන් යමි මගෙ රත්තරන්

    ඔන්න ඔහොම තමා ඉතින් ලියවුනේ...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සඳූ. පිළිතුරු කවිය එනකන් ටමයි බලන් හිටියෙ. ලස්සනයි.

      ජයවේවා!!!

      Delete
    2. පලවෙනි කවියේ තුන්වෙනි පදේ වෙනස් කරන්න ඕනෙ වගේ අප්පා

      Delete
    3. "පෑව සෙනෙහස ඈත භවයක හුරුකමක් හිතටම කරන්
      ආව හැටි නුඹ මගේ දිවියට" සෙනෙහම" වෙනුවට "සෙනෙහසම" ආවොත් හිදයි වගේ.

      "කාව වත් මට දැනුනෙ නෑ ආදරේ වෙන්නට නුඹ තරන්"
      පදයත් තාලෙ අවුලක් තියෙනවා වගේ.

      Delete
  9. ලස්සණ කවි පෙළක් ...

    මට මතක් උණා ඉස්සර දවස් දුමී .

    ජයවේවා!


    ReplyDelete
    Replies
    1. ස්තූතියි කළණ. ඇයි දැන් එහෙම ඉන්න බැරිද?

      ජයවේවා!!!

      Delete
    2. " දෑත දිගුකර තුරුළුවූ හැටි තාම මතකයි රත්තරන් "

      Delete
    3. රත්තරන්ට කිව්වනම් හරි මතකෙ අලුත් කරමුද කියලා:) :)

      Delete
    4. හා හා හා ..... එක තමයි . :D :D :D :D :D

      Delete
  10. අගේ ඇති පද පෙළක්.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ප්‍රසන්න.

      ජයවේවා!!!

      Delete
  11. හුහ්.. ෆේස් බුක් වල බ්ලොග් වල කොහෙද කවි තියෙන්නේ.. උන් දන්නා රෙද්ද.. විරිතකට මාත්‍රාවකට එළිසම එළිවැට රැකගෙන කවියක් ලියන්න පුළුවන් පෙබුද්ධ එවුන් ඉන්නවද ඔය ලැප්ටොප් අස්සෙයි පෝන් අස්සෙයි..

    :)))))))))))))))))))))))))))

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නෙ බං. එහෙං මෙහෙං වචන ටිකක් හොයාගෙන මොකක් හරි ලියලා එක කවියමයි කියාගෙන කෑ කෝ ගහනවා. මේවත් කවිදැ ???.....:):):)
      ස්තූතියි කමියා...

      ජයවේවා!!!

      Delete
  12. හුඟ කාලෙකින් මේ පැත්තේ ආවේ.. කවදත් වගේ කවිකම් - මනරම්!

    ReplyDelete
    Replies
    1. ඒකනෙ නගෝ... අවාරෙට ආ වැහි බිංදුවක් වගෙයි.
      ස්තූතියි.

      ජයවේවා!!!

      Delete
  13. ලස්සන කවි පෙළ. කවි දන්න නොදන්න හැමෝටම එක වගේ රස විඳින්න පුළුවනි.

    ReplyDelete
    Replies
    1. ආන්න හැලපයාට ඒක තේරුනා. ස්තූතියි.

      ජයවේවා!!!

      Delete
  14. Replies
    1. ස්තූතියි තරිඳු.

      ජයවේවා!!!

      Delete
  15. ලස්සනයි දුමී ; එත් රජ රට පෑවුම අත්දකින මට මෙහෙම හිතුණා.

    ඉල් මහේ වැසි නොදුටු අහසක - වැවේ තාවුල මැදි කරන්
    කෙටුව කැකුළන් සිනාසෙයි අද - කිරටහැරිලා ඉස්තරම්
    අය්යනායක පිහිට ලැබිලා - මහා වැස්ස යලි වැටෙනකන්
    මැදින් මහා අද හිතට මිහිරයි - නුබෙ සිනා දැක රත්තරන්

    ReplyDelete
    Replies
    1. ස්තූතියි පොලියානා. පහුගිය දවසක කුරුණෑගල වැව රවුමෙ උදේක යද්දි තමයි මේ අදහස ආවෙ. වැවත් ඇතුගලත් මායිම්වුණේ තද නිල්පාට අහසට. කිසිම වලාකුලක්වත් නෑ. ඒ කියන්නෙ හොඳ නියන් තත්වයක්.
      "සීත හිරිගඩු නලිය" "නිසල නිළඹර මතම දඟදා" "සසලවී වැව් ජලය මත්තෙම හාදු දෙයි උණුහුම අරන් " මේ යෙදුම් ගැළපුවේ ඒ හින්දයි. ඒ තත්වයකදී සැනසුමක් වෙන්නේ රත්තරන්ගේ හිනාව දැක්කමයි.... ඕකයි මම කිව්වෙ.
      පොලියානාගෙ කවියත් ලස්සනයි.

      ජයවේවා!!!

      Delete
  16. සීත මීඳුම් සළුව දවටා නැගුනි සඳ කුමරිය හෙමින්.......
    විහඟ තුඩ තුඩ මුමුනනා හඬ ඇසුණි මා මන මත් කරන්..........
    මැදින් මහ මැඳ සිහිල් දිය රැලි සිනාසුණි පෙණ පිඬු නඟන්..........
    විසල් පපුතුර සෙනෙහෙ වින්ඳෙමි සිනාසෙන තරැ මල් යටින්........

    වැටුණු සිරිපොඳ හාදු දුනි නිල් ගං දියට තව ලං වෙමින්........
    රහස කීවා නුරා දෑසින් සවන් පෙතිමත කොඳුරමින්.....
    තවම මතකයි ලවන් උණුසුම දැනුන මගෙ ලය තෙත් කරන්......
    දෑත මැද නුඹෙ ලොවම අමතක උනා මට නුඹෙ සෙනෙහසින්.......

    (හරිම ලස්සනයි දුමී අයියේ.exam ඉවර නිසා දැනෙන නිදහසනම් කවියෙන් අපූරැවට පේනවා)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නංගි මේ කවි පිළිතුරට. ඇත්තටම මේ දවස්වල නිදහස ඕනාවටත් වැඩියෙන්....

      ජයවේවා!!!

      Delete
  17. වචන වලින් කියවෙන අදහස ලස්සනට ගලා යනවා සෙමෙන් ගලන දිය දහරක් වගේ ,හරිම සුන්දරයි .මට මතක් වෙනවා රුහුණු සේවයේ තුරුණු සර වැඩසටහනට ඒ දවස්වල් ආපු කවි .ඒ ආපු මම කියවපු නිසදස්වල සුන්දරත්වය මේ නිසදසෙත් තියනවා .

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කවියා මේ ඇගයීමට. ඒ වගෙම සතුටුයි කවියා ගොඩාක් දවසකට පස්සෙ මේ පැත්තෙ ආ එකටත්. දැන් ලියනවා අඩුයිද ?

      ජයවේවා!!!

      Delete
  18. සොඳුරු අරුත්බර නිර්මාණයක්. හරිම ලස්සනයි

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ක්ෂේම භූමී. ආයුබෝවේවා කියලා දුමී ට පිලිගන්නවා.

      ජයවේවා!!!

      Delete
  19. පට්ට පට පට ඔක්කොම පිළිතුරු කවි ලියලනෙ මම අලුත් එකකට ලියන්නම් ඔහෙ ආපහු ලියන.

    ReplyDelete
    Replies
    1. හොඳයි නෙරන්ජන්. සතුටුයි මේ පැත්තට ඒම පිළිබඳව. ඔව් බලන් ඉන්නවා කවියක් ලියනකන්.
      ස්තූතියි නෙරන්ජන්.

      ජයවේවා!!!

      Delete

(110). ආදරයට නුඹ සිහිකර......

දුහුලු මලක මල් පෙති මත තැවරුනු මුදු සුමුදු සුවද හිත පුරාම විද ගන්නට සදා කල්හි එක විලසට රේණුව අග පරාග සේ පිරිලා ඇති සොදුරු සිහින මද ...