Saturday, April 21, 2018

සැහැල්ලුයි, මරණය බර නෑ....... ( කෙටි කතාව )


'ඔහු තිරිසනෙක්. කාන්තාවන් සිව්දෙනෙක්ම මාස තුනක් ඇතුළත අමානුෂික ලෙස වධදී මරා දැමීමට තරම් ඔහු තිරිසනෙක්. එහෙත් ඔහුට දෙවියන්ගෙන්නම් ගැළවීමක් නැහැ'


ඩුබියා එසේ පැවසුවේ අද උදෑසන නිවාඩු ගෙන ඇගේ නිවසට යාමට ප්‍රථමවයි.


'නැහැ. මම බයවෙන්නෙ නැහැ. ඩුබියා නිවාඩු ගියත් මට තනියම ගෙදර ඉන්න පුළුවන්'


රාත්‍රී අඳුරේ වීදිය දිගේ ඇවිදින අතරේ මම සිතුවෙමි.


'සැකකරු සොයා තවමත් පරීක්ෂණ. ඝාතන හතරම එක් පුද්ගලයෙක් කෙරූ බවට සැකයක්. ඝාතනයවී තිබෙන්නේ රූමතියන් සිව්දෙනෙක්. සැහැල්ලුයි මරණය බර නෑ. තවත් රතු රෝස මල් පොකුරක්'


පහුගිය දිනපතා පුවත්පත්වල පළවූ එවැනි සිරස්තල මට සිහිවිය. එසේම ඩුබියා පැවසූ දේත් සිහිවිය. මෙසේ වරින්වර ඒ දේවල් සිහිවීම නිසාම මම කළබල වීමි. රාත්‍රී නවයට ආසන්න මේ මොහොතේ වීදියේ වූයේ පාළු බියකරු පෙණුමකි. තවත් මීටර හාරසියයක් පමණ දුරක් නිවස වෙත ඇති නිසාම මම ගමන ඉක්මන් කෙරුවෙමි. එහෙත් නිරතුරුවම යටිහිතේ මැවී පෙණෙනුයේ ඒ අමානුෂික ඝාතන රැල්ලත් එලෙස ඝාතනයට ලක්වූ සුරූපිනියන්ගේ මළ සිරුරුවල දර්ශණත්ය. ඒ මොහොතේ ජංගම දුරකථනය නාද වීම නිසා මම එයට ඇමතුවෙමි.


'ඩුබියා. මම තාම ගෙදර යන ගමන්. ආ.. සැකකරුවෙක් අල්ලාගෙනද? ස්තූතියි ඩුබියා පණිවිඩය කිව්වාට. අනිද්දා උදෙන්ම වැඩට එන්න. හරි හරී. මම මල් පාත්තිය බලාගන්නම්. ස්තූතියි'


මම ජංගම දුරකථනය විසන්ධි කෙරුවෙමි. දෙවියන්ට ස්තූති වේවා. ඩුබියා දුන් පණිවිඩය ඇසීමෙන් මට ඇතිවූයේ සැනසුමකි. එහෙත් අල්ලාගත් සැකකරු ඝාතකයාම බව තවමත් සනාථකර නැත. ඔහු ඝාතකයාම විණි නම් තවත් බිය විය යුතු නැත.
 ඒ අතරේ මම බෑගයට දැමීමට lසැරසුණු ජංගම දුරකථනය වැටුනේ බිමටය.


 වීදි ලාම්පුව ඈතින් පිහිටි නිසා මෙම ස්ථානය තරමක අඳුරු බවක් ඉසිලීය. මම අඳුර අතරේම ජංගම දුරකථනය රැගෙන යළි නැගී සිටීමට සැරසුනෙමි. ඒ මොහොතේ තවත් මීටර තුනක් පමණ ඉදිරියෙන් මට පෙණුනේ මිනිස් ඡායාවකි. මම වහාම නැගී සිටිමින් ඉදිරිය බැලුවෙමි.


හිස් වැස්මක් පැළඳගත් උස මහත සිරුරකට හිමිකම් කියන්නෙක් මා දෙසට පැමිණෙමින් සිටියමුත් රාත්‍රී අඳුර නිසාම ඒ මුහුණ පැහැදිලිව දැකගැනීමට නොහැකිවිය.
'ද්... දෙවියනේ....මේ අර.... ?' ඇති වූ බිය නිසාම මම ආපසු හැරී දිව්වෙමි.


'කැමේලියා..... කැමේලියා'


ඒ පුද්ගලයා යමක් පැවසූ නමුත් පැහැදිලිව ඇසුණේ මගේ නම පමණකි. හුරු පුරුදු කටහඬක් වුවද මම නතර නොවුනෙමි. අතේ වූ ලිපි ගොනුව මා අතින් ගිලිහී ගියද මම දිව්වෙමි. එහෙත් ඵලක් නොවුණි. මොහොතකින් මම පරාජය වුණෙමි. වේගයෙන් දිව ආ ඔහු මා ඉදිරියේ පෙනී සිටියේ මගේ දෑත් අල්ලා ගනිමින්ය.


'එපා....' මම කෑ ගැසුවෙමි.


'කැමේලියා, මේ මම. මම වුල්ගාරිස්' ඔහු ඇමතූ පසු මම එදෙස බැලුවෙමි.


'කැමේලියා... ඇයි මේ බියවී?  මම වුල්ගාරිස්' අනතුරුව ඔහු මගේ දෑත් අතහැරියේය.


'ඕ... වුල්ගාරිස්. ඔබද මාව මෙතරම්ම වෙහෙසුවේ'


'ඔබව වෙහෙසවන්නවත් බිය කිරීමටවත් මම හිතුවේ නෑ කැමේලියා. මම හිතුවෙ නෑ ඔබ මෙතරම් කළබල වෙයි කියා. කැමේලියා හිතුවේ අර ඝාතකයා ඔබ පසුපසින් දිව ආවා කියාද ?


මම හිස සලා ඔහුගේ කියමන අනුමත කරමින් ආපසු හැරුනෙමි.


'මට සමාවෙන්න කැමේලියා'


'හරි වුල්ගාරිස්. අපි දැන් ඒක අමතක කරමු. එයින් වූයේ මට ඇවිදගෙන යාමට ඇති දුර තවත් වැඩිවීම පමණයි'


'එය හොඳ ක්‍රියාවක්නේ. වැඩිපුර ඇවිදීමෙන් ඔබේ ශරීර පෙනුම තවත් සුන්දරවෙයි බොහෝ. එසේම අනාගත සැමියා සමග ඇවිදීමට ලැබීම ඔබට සතුටක් නොවන්නේමද ?'


ඉදිරියට යන අතරේ වුල්ගාරිස් පැවසුවේ මගේ උරහිස මත ඔහුගේ අතක් දමා ගනිමින්ය.


'කැමේලියා...'


'ම්...'


'තාමත් බියෙන්ද?. බිය විය යුතු නැහැ. ඝාතකයා අල්ලාගෙනයි ඇත්තේ'


'ඒත් වුල්ගාරිස් ඔහු සැකකරුවෙක් පමණයි'
ඉදිරියට යන අතරේ බිම වැටී තිබූ මගේ ලිපි ගොනුව එකතුකර ඇහිඳගත් වුල්ගාරිස් එය මා අත තැබුවේය.


'ස්තූතියි වුල්ගාරිස්'


'කැමේලියාට මම මල් පොකුරකුත් දෙන්නයි හිටියෙ. හොඳ වෙලාවට මා එය නොගෙනාවෙ'


'මල් පොකුරක් ?'


'ඔව්. රතු රෝස මල් පොකුරක්'


'ඕ.. ඔබ නැවතත් අර ඝාතකයා සිහි කිරීමටයි උත්සාහ කරන්නේ. ඔහුත් ඝාතනයට කළින් දිනයේ නිවසේ දොරටුව ඉදිරියෙන් තබා ඇත්තේ රතු රෝස මල් පොකුරක්'


'මම විහිලුවට කිව්වෙ. මල් පොකුරක් තැබීම සාමාන්‍ය දෙයක් ලෙසට හිතන්න පුළුවන් වුවත් අර අමුතු වැකියක් ලියා තැබීමනම් අසාමාන්‍ය දෙයක්, නේද කැමේලියා'


'ඔව් වුල්ගාරිස්. එයින්ම ඔප්පු වෙනවා ඔහු මානසික ආබාධයකින් පෙළෙන්නෙකු බව. ඔබට මතකද එම වැකිය?'


'ඔව්. සැහැල්ලුයි මරණය බර නෑ'


'සැහැල්ලුයි මරණය බර නෑ'


කතාව අතරේ අපි මගේ කුලී නිවස අසළට පැමිණියෙමු.


'එහෙනම් මම යන්නම් වුල්ගාරිස්' ඒ සමගම ඔහු මගේ බඳ වටා දෑත් යවමින් මාව වැළඳගත්තේය.


'ඒත් වුල්ගාරිස්. මට...'
වුල්ගාරිස් මගේ මුව මත ඔහුගේ දබරඟිල්ල තබා මගේ කතාව නතර කෙරුවේය.


'බිය නොවන්න' ඔහු මිමිණුවේය. මම හිස සැළුවෙමි.


'හිනාවෙලා ඉන්න කැමේලියා' ඔහු හෙමින් හෙමින් දබරඟිල්ල මගේ තොල් මතින් පහළට ගෙන ගොස් පසුව නිකටින් අල්ලා ගත්තේය. ඒ රළු තොල්වලින් මාව සිප ගනිද්දී මම තවත් ඔහුට තුරුළු වූයෙමි.


'ආදරෙයි ගොඩාක් කැමේලියා'


'මමත්'


'බිය නොවී ඉන්න. සුභ රාත්‍රියක් කැමේලියා'


'සුභ රාත්‍රියක් වුල්ගාරිස්'



ඔහු නොපෙනී යනතුරු එදෙස බලා සිටි මම අනතුරුව මගේ කුළී නිවසට පැමිණ රාත්‍රී ආහාරයද ගැනීමෙන් පසු ඇඳට පැන්නෙමි. මේ වනවිටත් වුල්ගාරිස් කෙටි පණිවිඩ කිහිපයක්ම ජංගම දුරකථනයට එවා තිබුණි.


'සුභ රාත්‍රියක් වුල්ගාරිස්'
මමද ඔහුට කෙටි වණිවිඩයක් යවා නිදාගත්තෙමි. පහුවදා අවදිවනවිට උදේ හතට ආසන්න වී තිබුණි. නිවාඩු දිනයක් වූ නිසාම ප්‍රමාද වී අවදිවීම පිළිබඳව කළබල විය යුතු නැත.


මුහුණ සෝදාගෙන තේ කෝප්පයක් පිළියෙල කරගත් මම නිවාඩු දින සුපුරුදු ලෙස ගෙවත්තට යාමට සිතාගත්තෙමි. ඩුබියා ආදරයෙන් සාත්තු කෙරූ ලිලී සහ ටියුලිප් මල් කැකුළු බලනාතුරු ඉවසුමක් නැත. මම ප්‍රධාන දොර විවර කෙරුවෙමි. එවිට මට දක්නට ලැබුණේ අදහාගත නොහැකි දසුනකි.

තේ කෝප්පය මා අතින් ගිලිහී බිම පතිතවිය.

'ද්... දෙවියනේ... රතු රෝස.....'

රතු රෝස මල් පොකුරක් දොර ඉදිරියේ තිබූ අතර මිදුලේ ලියා තිබූ ඒ වැකිය දුටු මම භීතියට පත් වූයෙමි.

---සැහැල්ලුයි, මරණය බර නෑ---









-----නිමි-----

28 comments:

  1. මට මරණ බය දැනුනා අවසාන වෙනකම්ම... . නියමයි කතාව.. හරිම ලස්සනයි . ටුවිස්ට් එක හොඳයි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අරූ. කතාව දැණුනානම් සතුටක්.

      ජයවේවා!!!

      Delete
  2. හොඳ තේමාවක්, සරලයි. සිත් ගන්නා සුළුයි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඔබතුමාට.

      ජයවේවා!!!

      Delete
  3. Replies
    1. මොකෝ....

      ස්තූතියි සඳූ.
      ජයවේවා!!!

      Delete
  4. අයෙකුට සැහැල්ලුයි, මරණය බර නෑ. අනෙකාට හ්ම්ම්

    ReplyDelete
    Replies
    1. දෙපැත්තක් තියෙනවනේ.
      ස්තූතියි පොලියානා.

      ජයවේවා!!!

      Delete
  5. වෙනස් දෙයක් දුමි ලියලා. බයකුත් දැනෙනවා. ආදරේ කුත් ඒකේ ඇතුලේ තියනවා.

    ReplyDelete
    Replies
    1. පොඩි අත්හදා බැලීමක් ඉරෝමනී.
      ස්තූතියි.

      ජයවේවා!!!

      Delete
  6. සැහැල්ලුයි මරණය බර නැහැ...

    ජ ය

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඔබට.

      ජයවේවා!!!

      Delete
  7. හරිම අසාධාරණයි මෙතනින් නතර කිරීම ... මේ කතාවට තවත් කොටසක් තිබුණා නම්.... දුමී හොඳ කවියෙක් පමණක් නෙමෙයි කියන එකට මේ කතාව සාක්ෂියක් ... ජයවේවා .

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සඳවතිය. තවත් දික් කෙරුවොත් හානියක් වෙයි කියලා හිතුනා. බලමු හිතුනොත් දෙවෙනි කොටසක් ගැන ලියන්නම්.

      ජයවේවා!!!

      Delete
  8. Replies
    1. ඔය වගේ වැටක් ගහලා වෙන් කරපු මල් පාත්ති බලන්න තමයි කැමේලියා දොර හැරියේ.
      ස්තූතියි ප්‍රා. ජේ.

      ජයවේවා!!!

      Delete
  9. ඔයාට ලස්සනට කතා ලියන්න පුළුවන් නෙ අයියෙ.නියමයි. හැබැයි අර බුඩියයි, අනෙක් නමයි කියෝගන්න ගිහින් මගෙ දිවත් ටැපලුන. කතාවෙ විදේශික ගතිය නම් නියමෙටම පේනව..සුපිරියි👌👌👌

    ReplyDelete
    Replies
    1. ස්තූතියි තරිඳු. "බුඩියා" නෙමෙයි "ඩුබියා" කියලයි තියෙන්නෙ. රහ දැණුනානම් සතුටක්.

      ජයවේවා!!!

      Delete
  10. මේකේ තේමාව මෙවැනි අපරාධකරුවන අනුගමනය කරන පිළිවෙතක් නේද ? තමන්ගේ බිරිඳ පෙම්වතියට ආදරෙයි , නමුත් වෙනත් ගැහැනියක් හෝ කෙනෙක් මරා දානවා , කිසියම් මානසික ව්‍යාධියක් හෝ හේතුවක් නිසා? තමන්ගේ පෙම්වතියට හැර අනිත් ගැහැනුන්ට සැහැල්ලු මරණයක් දෙන්න කැමතියි. - හොඳ කෙටි කතාවක්

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අය්යෙ. මම හිතුවාට වඩා වැඩි අදහසක් අය්යා ලබා දුන්නේ. නිර්මාණය දැණුනානම් සතුටක්.

      ජයවේවා!!!

      Delete
  11. මේ කථාව හිතට ආවේ කොහොමද දැනගන්න ආසයි .

    ලස්සන කෙටිකතාවක්

    ජයවේව !

    ReplyDelete
    Replies
    1. හෙතු කීපයක් තියෙනවා.
      1. මිනීමැරුම්, හොල්මන්, අද්භූත, රහස් පරීක්ෂක කතාවලට මගේ තියෙන කැමැත්ත.
      2. මම නවකතාවක් ලිව්වට ඒ පොත නැතිවෙලා. ඒකෙ මතකයෙන් කෙටි කරලා මේක ලිව්වෙ.
      3. තරිඳු ලිව්ව 'පොල් ගෙඩියෙ' කතාව දැක්කම මේ කතාවත් බ්ලොග් එකට දැම්මොත් හොඳයි කියලා හිතුවා.
      ස්තූතියි කලණ.

      ජයවේවා!!!

      Delete
  12. අගේට ලියල තියෙනව කතාව.


    //සැහැල්ලුයි මරණය බර නෑ// ඔවු ඉතිං උස්සගෙන යන උංටනෙ බර. හැක්..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ප්‍රසන්න.

      හි හී. ඒකත් මරු කියමන.

      ජයවේවා!!!

      Delete
  13. මට නම් මේකෙ ප්‍රශ්න ගොඩාක් තියනවා අහන්න.අගහරුවාදා ආවම අහන්නම්කෝ

    ReplyDelete
    Replies
    1. හෑ.. බයේ බෑ...
      ස්තූතියි නන්ගී.

      ජයවේවා!!!

      Delete
  14. ඝාතකයා වුල්ගාරිස් ද කියලා සැක හිතෙනවා.
    කතාවේ ෆ්ලෝ එක සුපිරි ඒත් කතාවක අවසානයේ සැකයක් ඉතිරි නොවෙනවා නම් කැමති මම වගේ කෙනෙක්ට ඝාතකයා හරියටම කවුද කියලා අඳුනගන්න පහසු කලා නම් වඩාත් කැමතියි දුමී.

    ReplyDelete
    Replies
    1. සැකය කියන එක ඉතුරුවෙන්න තමයි ලිව්වෙ.
      බලමු දෙවෙනි කොටසක් ලියවෙයි.
      ස්තූතියි දුකා.

      ජයවේවා!!!

      Delete

( 109 ). මාත් සමගම සිහිතබාගෙන හූල්ලයි පෙම් පුදසුන.....

පාය පායා හෙලන සුසුමක දුක් කඳුළු පිණි තවරන පෝය අහසෙහි පෙනී නොපෙනී වප් හඳත් දුක් උහුලන යාය එළිකල සුවඳ තවරපු මලක් නික්මී ගිය දින ඈය මගෙ ලොව...