Sunday, May 20, 2018

ඉතින් කමුද අපි පොල් රොටි හදාගෙන... (දුමීගේ ඉවුම් පිහුම්....01)


අහස කලුවෙලා ඉර රැස් වසාගෙන
වැස්ස වහිනවා පොළොවම තෙමාගෙන
බඩගිණි දැණෙනවා හෝ හෝ කියාගෙන
ඉතින් කමුද අපි පොල් රොටි හදාගෙන


පාන් පිටියි ගාගත් පොල් සමග ලුණූ
බිත්තර පොල්තෙලුත් ගැනුමට මැලි නොවනූ
ලුනුද අමු මිරිස් රුචි තරමකට ගනූ
පොල් රොටි හදන්නට දැන් දැන් පටන් ගනූ


පෙනේරයක් අරගෙන පිටි හලාගෙන 
ඊට බිත්තරත් කඩලා දමාගෙන
කැපූ ලූනු අමු මිරිසුත් යොදාගෙන
අනනු තාලයට ගීයක් ගයාගෙන


ඉන්පසු එම බඳුන පසෙකින් තබාගෙන
ගාගත් රුවැති පොල් ටික දැන් ලගට ගෙන
රස පදමකට ලුණු කුඩු ටික ඉහාගෙන
අනනු හොරෙන් පොල් රසයත් බලාගෙන


මේ පොල් මිශ්‍රනේ ඉන්පසු අතට ගනූ
ටිකෙන් ටිකෙන් පිටි බඳුනට හලා ගනූ
දැන් එය හොඳින් තව තව කළවම් කරනූ
අවැසි ප්‍රමාණෙට ජලයත් එක් කරනූ


අතේ නොඇලෙනා පදමට අනා ගෙන
බෝල බෝල ඉන් ගුලි වෙන්කරාගෙන
පොල් තෙල් තැවරු තැටියක් මත තියාගෙන
පිටි ගුලි තුනී කරගනු වෘත්තය ලෙසින


මේවන විටදි තව දෙයකුත් විය යුත්තේ
රොටී පුළුස්සන තැටියක් ලිප මත්තේ
තබලා ලිපත් දැන් දල්වා ගත යුත්තේ
මගේ මවගෙනුයි මේවා දැනගත්තේ


තුනී කරපු රොටියක් හෝ දෙකක් ගනූ
තැටියට දමා මදරස්නෙන් පුළුස්සනූ
පැත්තක් පිළිස්සුණු පසු රොටි හරවගනූ
අනෙක් පැත්ත කර නොවෙන්න රත් කරනූ


පදමට රොටිය පෙනෙනව දැන් පිළිස්සෙන
සුවඳකි දැණෙන්නේ නාසය පිනා යන
බාගනු ඉතින් මේලෙස රොටි ටික සොඳින
උණු උණුවේම මේසෙට දෙනු සතුට ගෙන


ගුන පිරි රසය පිරි මේ වගෙ පොල් රොටියක්
කන්නට ඕනෙ සැර පිටවෙන ලුනුමිරිසක්
ඉඟුරු දමා රස්නෙට ඇති තේ උගුරක්
ගත්තම ඉතින් දැනෙන්නෙ දවසම ගතියක්....




(පොල් රොටියට සැර ලුනුමිරිස හදමු ඊළඟ දවසේ....)

34 comments:

  1. Replies
    1. ඔව් අටං. කට සැරට ලුණු මිරිසුත් එක්ක පොල් රොටී, ඉඟුරු තේ එක්ක. මරු....

      ස්තූතියි අටං.
      ජයවේවා!!!

      Delete
  2. දුමි එහෙනම් උයන්නත් දන්නවා. දුමිගේ අම්මා ගොඩාක් හොදයි. දුමිට උයන්නත් කියලා දීලා තියනවා. ඇත්තටම හදිස්සියකදී මේ වගේ දෙයක් දැන ගෙන තියන එක කොයි තරම් හොදද .

    ReplyDelete
    Replies
    1. ඔව් ඉරෝමනී. මේ වගේ පොඩි දෙයක්නම් කරගන්න පුලුවන්.
      හදිස්සියකට හොදයිනේ.
      ස්තූතියි ඉරෝමනී.

      ජයවේවා!!!

      Delete
  3. මම දවසක් අම්මට උයන්න උදව් කරන්න ගියා... එදා මට කිව්වා ආයෙනන් උදව් එපා කියලා... අයි දන්නෑනේ එහෙම... 😕😕

    ReplyDelete
    Replies
    1. තනියම උයන එක අම්මට ලේසි ඇති.
      මිතිල කවි කතා ලියන්න කියලා දවසක් කිව්වනේ. ඉතින් පොඩි වෙනසකට මෙහෙම ලිව්ව.
      ස්තූතියි මිතිල.

      ජයවේවා!!!

      Delete
  4. කොච්චි දාපු කට දන ලුණු මිරිසක් උම්බලකඩ යහමින්දාලාගත්තා නම්..... අම්මා කටට කෙලත් උනනවා....

    ReplyDelete
    Replies
    1. ඊළග වතාවේ ලුණු මිරිස හදමු....
      ම්....
      ස්තූතියි අසංග.

      ජයවේවා!!!

      Delete
  5. කදිමට හැදූ රොටියක රස බලන වී ට
    පදමට ගැලපේය ලුණු මිරිසක සැර ට
    නිකමට වගේ සැර අඩු කර ගැනීම ට
    හැපුමට හොඳයි පොල් හකුරුත් විටින් විට

    ReplyDelete
    Replies
    1. සැරකර ලුණුමිරිස හැදුවත් රොටියකට
      වෙනසට වගේ හකුරුත් ඇති වෙයි රසට
      ඉඳහිට යළිත් රොටි හදනා මොහොතකට
      රසයට හකුරු අරගන්නට හිතෙයි මට .....

      ස්තූතියි ඔබතුමාට.
      ජයවේවා!!!

      Delete
  6. Replies
    1. ප්‍රා. ජේ. නම් සැර ලුනුමිරිස් එක්ක පොල් රොටී කාලා ඇතිවෙන්න.....
      ස්තූතියි ප්‍රා. ජේ.

      ජයවේවා!!!

      Delete
  7. තැටිය කර උනා දුමියගෙ වෙලාවට
    රොටිය පිච්චුවා දාගෙන ලතාවට
    දැම්මා බ්ලොගේ ඒ ටික මේ විලාසෙට
    ගිලින එවුන් ගිල්ලා කෙල වකාරෙට

    ReplyDelete
    Replies
    1. අගේ ලෙසට පොල් රොටියක් හදාගෙන
      අගේ පපා කෑවා කට පුරෝගෙන
      මගේ යාළුවන් දැන් කෙල පෙරාගෙන
      මගේ බඩත් එනවා දැන් රිදීගෙන...

      ස්තූතියි ප්‍රසන්න.
      ජයවේවා!!!

      Delete
  8. සැර ලුණු මිරිසක් එක්ක පොල් රොටි...!! අන්න කනවනන් කෑම!!

    ReplyDelete
    Replies
    1. ම්..... ඔව් රන්දික. කාපු කටවල් දන්නවා රස!
      ස්තූතියි.

      ජයවේවා!!!

      Delete
  9. මේක දැකල පොඩි කතාවක් මතක් වුණා...

    එක ගමක හිටියලු බොහොම දුප්පත් මනුස්සයෙක්. වැඩිමනත් යමක් හදන්න අතේ මිටේ නැති නිසා මේ මනුස්සයගෙ බිරින්දෑ හැමදාම කෑමට හදන්නෙ රොටි ලු.. මේ මනුස්සයටත් දැන් රොටි කාලා එපා වෙලා ලු ඉන්න‍ෙ.. දවවසක් උදේම බිරින්දෑ රොටි හදාගෙන එනව දැකල කේන්ති ගිය පාර මිනිහ මේ කවිය කිව්වලු...

    රොටී රොටී හැම දවසෙම රොටී යේ
    තුටී සේම ලිප වටකර සැදී යේ
    මැටී සේම අප්පිරියා ගතී යේ
    රොටී නිසා තී දවසක නසී යේ

    එතකොට බිරින්දෑ කවියෙන් ඒකට උත්තර දුන්නලු මෙහෙම...

    හිතේ තමුසෙගේ හැමදා බතේ යා
    බතේ කන්න හාලක් ගෙයි නැතේ යා
    නැතේ හාල් ගැනුමට මිල අතේ යා
    අතේ තබමි එනිසා රොටි පතේ ය...

    ReplyDelete
    Replies
    1. ඔව්. ඔය කතාව අහලා තිබ්බට බිරිඳගේ උත්තරේ දැනන් හිටියෙ නැහැ. ස්තූතියි රන්දික.

      ජයවේවා!!!

      Delete
  10. රත්වුන තැටිය මත
    සුවඳ රොටියක් හැදී ලා ඇත
    කන්නට හිතත් ඇත
    නමුත් ලුණු සහ මිරිස් නම් නැත

    ReplyDelete
    Replies
    1. තරිඳු පැමිණී ඇත
      ලුනු මිරිස ඉල්ලා ඇත
      රස කවිය දී ඇත
      එයින් තුටු විය බොහෝ මා සිත...

      ස්තූතියි තරිඳු.
      ජයවේවා!!!

      Delete
  11. අපි ඊයෙත් මෙහෙම රොටි හදලා දයියා ලුණු මිරිසුත් එක්ක කෑවා.... හැබැයි ඉතින් අපේ ගෙදර රොටි හදන්නේ මම නෙවේය.මම තාම තනියම රොටොයක් හදා නැත. ඔය වගේම ආලවට්ටම් දාල අපේ ගෙදර රොටි හදන්නේ සත්තලන් තමා.හැබැයි බිත්තරනම් දාන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. රත්තරන් සත්තලන් කෙනෙක්.
      වැහි දවසටනම් උනු උනු රොටී තමයි කෑම.
      ඉවීම කලාවක් කරගත්තම උයන්න ආසයි සඳූ.
      බිත්තර දාන්නෙ නැත්නම් මාජරීන් දාන්න. හොඳ රසයක් දැනෙයි....
      ස්තූතියි සඳූ.

      ජයවේවා!!!

      Delete
  12. පිස්සු වගේ... හොඳා හොඳා, ඔහොම්ම, දුමී, කරන හැමදේම කවි කරයිද දන්නෑ....

    ReplyDelete
    Replies
    1. හෑ.... රොටී කාලඩ පිස්සු වගේ???
      හැමදේමනම් කවියෙන් බැරිවෙයි...
      ස්තූතියි අරූ.

      ජයවේවා!!!

      Delete
  13. ඒකත් මරු ක්‍රමයක් නිකන් රස සරණිය වගෙ

    ReplyDelete
    Replies
    1. හ්ම්... රෝමා හදලා බැලුවද බං.
      ස්තූතියි රෝමා.

      ජයවේවා!!!

      Delete
  14. පට්ටයි අයියේ!!!!
    ජය වේවා!

    ReplyDelete
    Replies
    1. පට්ටයි කියලා මදී. රොටියක් හදලා කාලා ඒකේ රහ ගැන කියන්න ඕනේ....😊
      ස්තූතියි මල්ලී...

      ජයවේවා!!!

      Delete
  15. හේනේ පැලේ හැදුව දුමී ස්ටයිල් රොටී...
    සරායි මායි බීෆ් බොරේ එක්ක කෑවා රොටී...
    රසම රසයි හරි කදිමයි දුමී ස්ටයිල් රොටී...
    😂😂😂😂

    ReplyDelete
    Replies
    1. චෙෆා රහයි කිව්වානම් එය හොදටම වටී.....

      ස්තූතියි චෙෆාකී. ඔබෙන් රොටියෙ අඩුපාඩු අහගන්නයි ඕනවුනේ..

      ජයවේවා!!!

      Delete
  16. තෝ බැඳල හනිමෝං ගිහිල්ල කොරන එකත් කවියකිං කියාපංකො බොල දුමියො ...හෙහ්,හෙහ්,

    ReplyDelete
    Replies
    1. හෙහ් හේ.... එහෙම ලියනවනම් කවි පොතක්ම කරලා පළමු කොපිය ඔබ තුමාට තෑගි කරනෝ... ��

      ස්තූතියි අයියේ.
      ජයවේවා!!!

      Delete
  17. රසම රසයි දුමී ජයවේවා....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සඳවතිය.

      ජයවේවා!!!

      Delete

(110). ආදරයට නුඹ සිහිකර......

දුහුලු මලක මල් පෙති මත තැවරුනු මුදු සුමුදු සුවද හිත පුරාම විද ගන්නට සදා කල්හි එක විලසට රේණුව අග පරාග සේ පිරිලා ඇති සොදුරු සිහින මද ...