Friday, August 11, 2017

Tuesday, August 8, 2017

Monday, July 31, 2017

සෙනෙහෙ විඳින්නෙමි, එහෙත්....


ඒ දෙනෙත් මගේ හිතට ගෙනාවේ සැනසිලිදායක හැඟීමකි. බලාපොරොත්තුවක් පෙනෙන මායිමකවත් නොවූ ජීවිතයකට, මොහොතකින් බලාපොරොත්තුවක් ඇතිකරවූයේ ඒ දෙනෙත්ය. එවන් මොහොතක දැනෙන්නේ වචනයෙන් කිව නොහැකි තරමේ සතුටකි, සැනසිමකි. නෙතකින් දකින්නට හැඟෙන්නට නොහැකි තරමේ සෙනෙහසක්, හැඟීමක් පළමුවරට ඊයේ දිනයේදී ඇගේ දෙනෙතින් මම දුටුවෙමි.
ඒ දෙනෙත් රෝහලේ වාට්ටුව කෙළවරේ දොර අසළින් දුටුවිටදී සතුටක් දැණුනා සේම වරින්වර එහා මෙහා යන රොහල් කර්යමණ්ඩලය සහ රෝගීන් බැලීමට පැමිණි ජනතාව නිසාම ඒ දෙනෙත් මගේ දර්ශණ තලයෙන් ගිලිහී ගියවිට දුකක්ද දැණුනි. එහෙත් ඒ ඇයිද යන්න මට නොවැටහේ. ඒ දෙනෙත් සොයා මම වටපිට බැළුවෙමි. පුදුමයකි. ඒ දෙනෙත් මගේ ඇඳ අසළය. යළිත් වතාවක් මගේ හිතට දැණුනේ සැනසීමකි. මම ඇඳෙන් නැගී සිටීමට උත්සාහ දැරුවෙමි.

'නැගිටින්න එපා. ඔහොම ඉන්න' ඒ දෙනෙත් හිමි ඇගේ හඬයි.

මම ඇඳ මත වාඩි වුණෙමි. හිතේ වූ පුදුමාකාර සතුට පිළිබඳව හිතනවා හැරෙන්නට ඇය සමග කතා කිරීමටවත් මට මතක්වූයේ නැත. ඇයටද එසේම වන්නට ඇතැයි මා සිතුවේ ඈ නිහඬවම හිනා මුසු මුහුණින් යුතුව මා දෙස බලා සිටිනා බැවිනි. අප අතරේ නිහැඬියාව බිඳුණේ මට ඇතිවූ කැස්ස නිසාය.

'රිදෙනවද ?'  පපුව අල්ලාගෙන මම කහින අයුරු දුටු ඈ මගේ උරහිසින් අල්ලා පැවසුවාය. 
'ටිකක් විතර '
මතක සිදුවීම එතැනින් අවසන් වූයේ කවුරුන් හෝ මගේ උරහිස සොලවා මට කතා කිරීම හේතුවෙනි. මම දෙනෙත් විවර කෙරුවෙමි.

'නින්ද ගියාද ?' ඒ රෝහල් සාත්තු සේවකයෙකි.
'නින්ද ගියේ නෑ. ඇස් දෙක වහගෙන කල්පනා කර කර හිටියේ'
'මහත්තයා ඇඳ අයිනේ හිටියේ... වැටෙයි කියළයි මම ඇඳ මැද්දට තල්ලු කෙරුවේ'
'ස්තූතියි, ස්තූතියි'

අනතුරුව ඔහු මා අසළින් නික්ම ගියේය. තවත් මොහොතකින් උදෑසන රෝගීන් බැලීමට නියමිත කාලය උදාවෙනු ඇත. එහෙත් අම්මාටද අසනීප බැවින් උදෑසන මාව බැලීමට රෝහලට නො එන ලෙස අප්පච්චීට ඊයේ පැවසූ නිසාම ඔහු දැන් නො එනු ඇත. දහවල් වනතුරු කිරීමට දෙයක් නැත. කෙටි කථා පොතක් තිබුණත් එය කියවීමට තරම් රුචියක් මේ මොහොතේ නැත. මම පොත මේසය මත තබා නෙත් පියා ගන්න සැරසෙත්ම අසළට පැමිණියේ ඒ දෙනෙත්ය.
ඇගේ සුපුරුදු ලෙංගතු හිනාව මගේ හිතට සැනසුමක් ගෙනාවාය.

'මගේ යාලුවෙක් ඉන්නවා අනික් වාට්ටුවේ. එයාටත්....' ඇය ඉතිරි වචන ගිල ගත්තාය.
'එයාටත් මට වගේම පිළිකාවක් නේද?'

මම ඇසුවෙමි. ඇය නිහඬවම බිම බලා ගත්තා මිස කිසිවක් පැවසුවේ නැත. මම ඇඳේ හිඳගැනීමට සැරසෙත්ම ඈ මගේ වමත අල්ලා මට සහය දුන්නාය.

'ස්තූතියි, ඊයේ ඇවිත් ගියාට මම හිතුවේ නෑ...'
'අදත් බලන්න එයි කියළා, නේද?'
'හ්ම්....'
'ඇත්තටම මාත් එන්න නෙමෙයි හිටියේ. ඒත්.... අනේ මන්දා...'

ඇය හිනාවීමට උත්සාහ කෙරුවද ඒ දෙනෙත්වල කඳුළු පිරෙන අයුරු මම දුටුවෙමි. ඈ කඳුළු දුකකටද? නැත්නම් සතුටකටද? ඇගේ දෙනෙත කඳුලින් පිරෙන්න තරම් මා ඈට විශේෂිත කෙනෙක් වූවාද? ඇගේ හිතේ මා පිළිබඳව සෙනෙහසක් ඇති වූවාවත්ද? එසේ විය නොහැකිය. ඉදිරි ජීවිතය පිළිබඳව ස්ථිරතාවයක් නොමැති මා වැනි රෝගියෙක්ට ඇගෙන් ආදරයක් නොලැබෙන බව මම දන්නෙමි. සමහරවිට ඇය මට අනුකම්පාවක් දක්වනවා විය හැකියි. ඔව්. එය එසේම විය හැකියි.
එහෙත් ඇය දුටුවිටදි මට දැණෙන හැඟීම ආදරයක් නොවන්නේමද? ඒ ආදරය ඇයට ප්‍රකාශ කිරීමට කැමැත්තක් තිබුණද එය කළ නොහැකිය. රෝගියෙක්ට ආදරයක් දක්වන මෙන් මා කෙසේනම් ඇයට පවසන්නද?
යළිත් ඇතිවූ කැස්ස නිසාම මම ඇඳේ හාන්සි වුණෙමි.

'ඔයා දැන් යන්න'  අකමැත්තෙන් වුවද මම එසේ පැවසුවේ සුළු ප්‍රමාණයකින් හෝ මා පිළිබඳව අදහසක් ඇත්නම් එය ඇගේ හිතින් ඉවත් කිරීමේ අර්මුණෙනි.

'එහෙම කියන්න එපා'  ඈ මිමිණුවාය.
'ඇයි ?'
'දුකයි'
'දුකයි?'
'හ්ම්.. එහෙම යන්න ඕනකමක් තිබ්බානම් මම මෙතන්ට එන්නේ නැහැනේ'
'ඒත්.... ම... ම...'

මට තවත් ඒ මුහුණ බලාගෙන කතා කිරීමට නොහැකිය. ඒ දෙනෙත් තවමත් කඳුළින් පිරී ඇත. එය දුටුවිට ඇයට තවත් දුකක් දීමට මට සිත් නොදෙයි. ඇයගෙන් මොහොතකටවත් ඈත්වීමට දැන් මටද හිතක් නැත. ඒත්... ඒත් මේ හැඟීම දෙදෙනාටම දුකක් පමණක්ම බව මම දන්නෙමි. නමුත් ඇයට එය කීයාදීමටද නොහැකිය.
ඒ හිනාවට මෙන්ම ඒ උණුහුමටද මම ප්‍රිය කරමි. ඈ තවමත් මගේ වමත අල්ලාගෙනය. මගේ සුරත ඇගේ අත මත තැබීමට ගියත් පසුව මම අත ඉවතට ගත්තෙමි. මෙතෙක් වෙලාවක් හිතේ සඟවාගෙන සිටි ඒ වේදනාව ඈ කඳුළුවලින් පිටකෙරුවාය.

'අඬන්නෙපා'
'ඇයි?'
'ඔයා අඬනවා බලන් ඉන්න බෑ මට'
'ඒ ඇයි?'
'දුකයි'
'ඇත්තටම?'
'හ්ම්....'
'හරි. මං අඬන්නෑ...'
'හොඳයි. එතකොට ලස්සනයි'
'හරි. ආයිත් අඬන්නෑ. ඔයා සතුටින් ඉන්න. ඒ වගේම සනීපෙන්. මම යන්නම්'

ඇය දිගු සුසුමක් පිට කරමින් යන්න සූදානම් වූවාය. එහෙත් ඇගේ දෑතට හිරවූ මගේ වමත මට ඉන් මුදාගැනීමට උවමනාවක් නැත. ඒ උණුහුම නැතිකර ගැනීමට මට අවශ්‍ය නැත. මොහොතින් මොහොත ඒ අතැඟිළි මගේ අතැඟිළිවලින් ඈත් වෙද්දී මට ඇතිවූයේ දරාගත නොහැකි කම්පාවකි. ඈ, අසළ සිටි මිනිසුන් අතරින් ගොස් වාට්ටු දොරෙන් නොපෙනී යනතුරු මම බලා සිටියෙමි. ඇයට නොකීවද ඇගේ ලෙංගතුකම, සෙනෙහස මම බලාපොරොත්තු වෙනවාවත්ද?

එහෙත් මම වැනි ආත්මාර්ථකාමියෙක්. මම ඇගේ හිත පෑරුවාවත්ද? ඒ හිතට කොතරම් දුකක් දැනෙන්න ඇද්ද? එකම වරක් හෝ ඇගේ සෙනෙහස විඳීමට කැමති බව මම නොකිව්වේ මන්ද? එසේ පැවසුවේනම් ඇය මෙන්ම මමත් මේ මොහොතේ සතුටින් සිටිනු ඇත. ඒ කෙසේ වුවද දැන් ඈ මෙතන නැත. හිත සැනසෙන ඒ වචන යළි ඇසීමටත් ඒ ප්‍රියකරු බව යළි දැකීමටත් මට නොලැබෙණු ඇත. ඇයත් සමග තව දුරටත් කතා කිරීමට නොලැබීම මට දුකකි. මේ නිසාම මගේ හිත දැන් නොසන්සුන්ය. මොහොතින් මොහොත ඒ මතකය මගේ හිතට වද දෙන්නට විය. දැන් දැන් ශවසන අපහසුතාවය ක්‍රමක්‍රමයෙන් වැඩි විය. ඒ නිසාම දහවල් වනවිට මම හුස්ම ගත්තේ කෘතිම ඔක්සිජන්වලට පිං දෙමින්ය. එම අපහසුතාව දැණුනත් තව එක් වතාවක් හෝ ඇයව දැකගන්නා තුරු  මට මේ ලොව දමා යන්නට බැරිය. කෙමෙන් කෙමෙන් දහවල උදා වුවත් ඇගේ මතකය මගේ හිතෙන් පහව නොගියේය.

දහවලේදී අප්පච්චි මාව බැලීමට ඇවිත් අසළ පුටුවේ වාඩි වූවේ මහා දුකක් හිතේ හිරකරගෙන බව මම දන්නෙමි. ජීවිතයත් මරණයත් අතර තම පුතා විඳවන අයුරු දැකීම පියෙක්ට ඉවසාගත නොහැකි දෙයකි. ඒ වේදනාව ඔහු නිහඬවම හිතේ හිර කරගෙන මගේ හිස පිරිමදිමින් සිටියේය. තවත් පැයකින්, දෙකකින් හෝ වරුවකින් හෝ ඔවුන්ව හැර දමා යන්නට සිදුවනු ඇත. ඔහු එය කෙසේ දරාගනු ඇද්ද?  අනේ....ඒ හිත අස්වැසීමට දැන් මට කිසිවක් පැවසීමටද නොහැකිය.

'මට සමාවෙන්න අප්පච්චී, මට සමාවෙන්න....' මම සිතුවෙමි. මගේ අසාධ්‍යබව දුටු අප්පච්චී 'දොස්තර මහත්තයෝ.....'කියමින් දිවගියේය.

මේ මගේ ජීවිතයේ අවසාන මොහොත බව මම හොදාකාරවම දන්නෙමි. යළිත් වරක් ඒ දෙනෙත් දැකගැනීමට නොහැකිවීම පිළිබඳව මට ඇත්තේ කළකිරීමකි. හරියාකාරව නමක්වත් නොදන්නා ඇයගේ මතකයන් ඇත්තේ සුළු ප්‍රමාණයකි. ඒවා ගැන සිතමින් මම දෙනෙත් වසා ගත්තෙමි. දැන් හිතට ඇත්තේ සැහැල්ලුවකි. එහෙත් හුරු පුරුදු ස්පර්ශයක් වමතට දැනීම නිසා මම යළිත් දෙනෙත් විවර කෙරුවෙමි.

මා ඉදිරියේ සිටියේ ඒ දෙනෙත්ය. ඔව්. ඒ දෙනෙත් මා දෙස බලා සිටියේ කඳුළු පුරෝගෙනය. දෝතින්ම මගේ වමත පිරිමදිමින් සිටි ඈ මා වෙතට සමීප වූවාය. පව්. මම ඇයට දුකක් දුන්නේද? ඇයට මගේ හිතේ වූ හැඟීම නොපැවසීම පිළිබඳව දැන් මට ඇත්තේ සතුටකි.

'මට සමාවෙන්න' මම සිතුවෙමි. තවත් මට සමීප වූ ඈ මගේ නළල සිඹ ඈත් වනවිට ඒ දෙනෙතින් වැටුණු කදුළුවලින් මගේ කොපුල උණුහුම්විය.  අනතුරුව ඈ අසළ පුටුවේ වාඩිවූවේ හඬමින්ය. මම අසීරුවෙන් හිස සැලුවේ ඈට හඬන්න එපා යයි පැවසීමටයි. එහෙත් ඇගේ මුහුණේ හිනාවක් නැත. මගේ සුරත ඇය දෙසට දිගු කිරීමට උත්සාහ දැරුවද එය අසාර්ථකවූයේ එතරම්ම මා දුර්වල තත්වයකින් සිටින නිසාවෙනි.

'නෑ....'

ඇගේ විලාපයත් සමගම අවට නිහඬ විය. බොඳ වී පෙණුනු ඒ රුව ක්‍රමක්‍රමයෙන් නොපෙනී ගොස් අසානයේදී මුලුමනින්ම නොපෙනී ගියේ අඳුරු වටපිටාවක මාව තනිකරමිණි.  



-------නිමි---------
             





මෙය අරුණ පෙරේරා සහෝදරයා කාලයකට ඉහතදී රවී සහෝදරයාගේ 'නිදහස් සිතුවිලි' බ්ලොග් එකේ කමෙන්ට් එකක සඳහන් කෙරූ යම් සත්‍ය සිදුවීමක්, මට දැණුනු අයුරින් ගළපා නිර්මාණය කෙරූවකි.

Sunday, July 23, 2017

Sunday, July 9, 2017

සුසුමෙවත් නැවතී හිඳියි නම් හුස්ම නොගනිමි සැනසිලා.........

ඉහළ අහසේ සිහින මාළිග දිනෙන් දින නිති හැඩවෙලා
මහළ හත අට සතුට සැනහී හිත පුරා ඳඟකම් කළා
ඇහැළ මාසෙක දිනෙක තිබු ඒ මතක නිතරම සිහිවෙලා
අහල පහලකවත් නොවී නුඹ කොහි ගියේදෝ සැඟවිලා

පිල්ලමක් යට දෙනෙත වෙහෙසී උණුහුමෙන් රත් පැහැවෙලා
මල්දමක් වූ මතක කඳුලින් දවයි හදවත රිදවලා
සෙල්ලමක් සේ නොසිතු සෙනෙහස පපු තුරුල්ලෙම හිරවෙලා
පැල්ලමක් වත් නැතිද හිත තුළ ප්‍රේම පැහැයම බොඳවෙලා

සෙනෙහසත් තුරුළට අරන් ආ හදම හදවත රිදවලා
ගිරිකුලත් සිඳ බිඳ වැටුණු පසු හිඳිනු බැහැ සිත තුටුවෙලා
සැනසුමත් හද කොනින් නික්මී තටුසලා යයි ඉගිලිලා
සුසුමෙවත් නැවතී හිඳියි නම් හුස්ම නොගනිමි සැනසිලා.........