Monday, October 1, 2018

( 109 ). මාත් සමගම සිහිතබාගෙන හූල්ලයි පෙම් පුදසුන.....


පාය පායා හෙලන සුසුමක දුක් කඳුළු පිණි තවරන
පෝය අහසෙහි පෙනී නොපෙනී වප් හඳත් දුක් උහුලන
යාය එළිකල සුවඳ තවරපු මලක් නික්මී ගිය දින
ඈය මගෙ ලොව නොමැති මොහොතෙදි තව තවත් ගිණි ඇවිළෙන


අතී තෙක සිහිවටන කුසුමන් එකින් එක පෙති පුබුදන
එතී දැවටෙන ලතාවක් හද මඩල නිබඳව කළඹන
පතී යුවතී වරම් ලැබුමට ප්‍රථම මෙලොවෙන් නික්මුණ
සිතී මෙන් තව තවත් රතුවී දෙනෙත් කඳුලින් නලියන


ආත් මෙක බැඳි සසර සෙවනැලි සෙනෙහෙ දෝතක් සමගින
ඈත් වන සඳ හිස් අහස්ගැබ දුක් අදෝනා විමසන
දෑත් එකිනෙක පැටලි මිමිණුව අපේ සෙනෙහස පෙරදින
මාත් සමගම සිහිතබාගෙන හූල්ලයි පෙම් පුදසුන.....


.

Saturday, September 22, 2018

108. වසන්තය සේ නම් ලබන්නේ මමයි මගෙවන නුඹමමයි.....




මල් කැකුළු පෙති පුබුදුවාගෙන පතුරනා මේ සුවඳමයි
පිල් විදාගෙන මයුර මනරම් දසුන් නංවන රැඟුමමයි
නිල් අහස්කුස ධවල මේඝයො පැද්දෙනා සුභ කාලෙමයි
කල් බලා සිටි සොය සොයා ගිය වසන්තයනම් මෙයමමයි


නෙතින් නෙතගින් පාන ඉඟි බිඟි හදවතින් දුටු රුසිරුමයි
අනන් තයකට එහා විනිවිද දිලෙන්නෙම එම සෙනෙහෙමයි
ගතින් විඳිනට සැහැල්ලුවකට වරම් ලැබගත් මොහොතෙමයි
වසන් තය සේ නම් ලබන්නේ මමයි මගෙවන නුඹමමයි.....

Friday, September 14, 2018

( 107 ). මෙමට මහමෙර සේය නුඹ මා ළඟ හිඳිද්දී හිනැහිලා.......



සඳට සඳ දිය සේල විහිදා සැරිසරන්නට තව වෙලා
හිරුට කියමුද කලින් නිදි දුව වැළඳ ගන්නට ළංවෙලා
නිලට සැරසී සරන තරුමල් සිරිය නෙතගින් බලබලා
ළඟට ළංවී හිඳිමු සොදුරියෙ සෙනෙහෙ පදවැල් මුමුණලා


එහෙට මෙහෙට පිණි බිංදු බෙදූමුත් සුළඟ නිතරම අප බලා
ගතට සිසිලක් කොහෙ දැනෙන්නද දෙසිත් ඇත උණුහුම් වෙලා
රැයට තුතිමල් අසිරි දෙමු අපි සොඳුරියේ සැනසුම් වෙලා
මෙමට මහමෙර සේය නුඹ මා ළඟ හිඳිද්දී හිනැහිලා........






( කිහිප වතාවක්ම " කෝ අලුතින් කවියක් ලිව්වෙ නැද්ද ?" අසමින් දුරකතන ඇමතුම් දුන් තල් අරණට පාපැදියෙන් යන අපේ " තට්ට අයියා " ගේ ඉල්ලීම නිසාම හදිසියේ ගැළපූ කවියකි...... )

Friday, August 10, 2018

( 106 ). ඉතින් අම්මේ තවත් නොහඬනු මගේ පව් මට පලදෙනා.....


අඩි තබා මා ඇවිදිනා සඳ ඔබේ නෙතු රතු වෙන්නැතී
පොඩි දවස්වල සිනහ බල බල ඔබත් සතුටින් ඉන්නැතී
වැඩි ය නොසිතා තුරුණු වයසෙදි මගෙන් වරදක් වෙන්නැතී
පොඩි පුතා ගැන අම්ම අප්පා තාම දුකකින් වෙන්නැතී


යන්න එන්න මට ගමන් වියදම අම්මෙ ඔබගෙන් ලැබුනනේ
ඉන්න දිනවල ඇඳුම් අයියගෙ හොරෙන් අරගෙන ඇන්දනේ
කන්න තිබෙනා කෑම වේලත් නොකා දුන්නේ මටමනේ
ගින්න දැන් මගෙ හදේ දැවෙනව වරද හැමදා මගෙමනේ


දුරින් හිටියද අම්මෙ මතකෙන් තාම මම මෙහි විඳවනා
මතින් මත් වී සිටිය මිතුරන් නොමැති දැන් මා තනිවෙනා
භවෙන් මතු මතු ඔබෙම පුතුවී රැඳෙන්නට මම කල්පනා
ඉතින් අම්මේ තවත් නොහඬනු මගේ පව් මට පලදෙනා.....

Wednesday, August 1, 2018

Sunday, July 22, 2018

( 104 ). මැරෙන්නට පෙර වරෙන් පුතුනේ හුස්ම නැහැ තව දිගුවෙලා.....



දිනෙන් දින වැට කඩුලු මත්තෙම දෙනෙත් අපගේ රඳවලා
බලන් හිටියද ගෙවුනෙ කීවෙනි පොහොයදැයි අමතක වෙලා
ගැබෙන් දස මස දරාගෙන උඹ වැදූ ගුණවත් සිහිවෙලා
වරෙන් ළඟ එන පෝ දිනේ හරි අම්ම හොදටම ලෙඩවෙලා


පිනෙන් පින උඹ නිසා මව් පිය වරම අප හට හිමිවෙලා
දිනෙන් දින නිති සතුට ලැබුවේ සිඟිති සුරතල් බල බලා
රනින් මුදලින් කුමට සම්පත් දරුවො නැති දින ළංවෙලා
නෙතින් නොහඬන පියාගේ අද හදවතම ගිණි ඇවිළිලා


උසින් සැදි මහගෙදර තුළටම මහළු දෙසිතක් කොටුවෙලා
විඳින් නට ජීවිතය ඇතිමුත් හිතින් බොහො කල් මියැදිලා
දුරින් හිඳිනට තරම් පුදුමය උඹේ හිත දරදඬුවෙලා
මැරෙන් නට පෙර වරෙන් පුතුනේ හුස්ම නැහැ තව දිගුවෙලා.....








(  ජීවිතේ සැදෑ සමයේ විඳින ජීවිත වෙනුවට විඳවන ජීවිතයක් ගතකරන අපේම දෙමව්පියන් වෙනුවෙනි. ඔවුන් ඔබ එනතුරා මහගෙදරට වී බලා හිඳිනු ඇත. අඩුම තරමේ ඔබගෙන් දුරකථන ඇමතුමක් හෝ ලැබෙනු ඇතැයි මග බලා සිටිනු ඇත..... )

Tuesday, July 17, 2018

( 103 ) ගලා නොබසින වැව් දියේ හිඳ හැඬුවෙ කිම කඳුළක් තියා......

වලා පෙල දම් පැහැයෙ හැඩ ගෙන එකින් එක එහෙ මෙහෙ නොයා
මලා නික වූ වයඹ අහසෙම කඳුළු අමුණයි දුක තියා
පලා යන්නේ ඇයිද සියොතුනි විරහ තනුවක ගී ගයා
මුලා වුණු හිත තැවෙනවා දැන් අතීතෙක මාවත් සොයා


වෙලා ගත් රුදු මීදුමේ ඝන අන්ධකාරෙට නෙත තියා
බලා ළතැවෙන ඇතුගලත් අද සුසුම් දෙයි තනිකම කියා
සලා සිනහව නුඹව දුටුදින වැටුණු මල් රොබරෝසියා
ගලා නොබසින වැව් දියේ හිඳ හැඬුවෙ කිම කඳුළක් තියා


කලා සොළස පිරි නිශාකර යළි උදාවෙන රැය අරබයා
එලා සේල සළු සැරසුවත් නිති හිතේ සැනසුම දුර ගියා
ගිලා ගිය ඒ සෙනෙහෙ අමතක කෙරූමුත් දුක නෑ කියා
ගලා එන මන්දාරමේ තෙත හිතම හිරිවට්ටයි සොයා.....


( 109 ). මාත් සමගම සිහිතබාගෙන හූල්ලයි පෙම් පුදසුන.....

පාය පායා හෙලන සුසුමක දුක් කඳුළු පිණි තවරන පෝය අහසෙහි පෙනී නොපෙනී වප් හඳත් දුක් උහුලන යාය එළිකල සුවඳ තවරපු මලක් නික්මී ගිය දින ඈය මගෙ ලොව...