Saturday, April 27, 2019

117. තාම හිත් තුල කැකෑරී ඇත රක්ත පාටට සිංහ ලේ.....

බලන බලන තැන මල් පිපීලා තිබුණු ලස්සන ඒ ඔපේ
හෙලන හෙලන හැම සුසුම් පොදකම මතක හිරවී ඇත අපේ
උයන උයන බත කරවෙලා තව දුම් දමද්දී ගෙයි ලිපේ
කරන කරන ඒ ම්ලේඡ වැඩ දැක හෙන වදියි හිස මත තොපේ.....

මඩිය තරකර ගැන්ම පමණය වෙනත් දෙයකට සිත් නොයා
කැඩිය හැකි තෘෂ්ණාව පොදි බැඳ උනුන් පොරකයි නැත දයා
අඩිය තබලා පෙරට එන්නට බැරිව ලතැවෙන දුක කියා
කොඩිය තවමත් හඬයි දැක දැක යදම් බැඳ දැමු සිංහයා.....

යාම නොබලා ගමන් ආගිය අපට හුරුවූ මංසලේ
කෝම කියමිද කුරිරු සෙවනැලි සරයි දැන් දැන් හැමවෙලේ
මේම සිටියට බිහිරි අඳ ගොළු ලෙසට අපි හැම නිසසලේ
තාම හිත් තුල කැකෑරී ඇත රක්ත පාටට සිංහ ලේ.....

Sunday, April 7, 2019

116. කිඳුරු දෙසිතක නැගුණු විසිතුරු ආලෙ නිරතුරු නවතලා ........

සොඳුරු හැඟුමක කැකුළු මල් පෙති එකින් එක තව පරවෙලා
අඳුරු වී යන සෙනෙහෙ වීදියෙ කඳුළු නංවයි දුක්වෙලා
කිඳුරු දෙසිතක නැගුණු විසිතුරු ආලෙ නිරතුරු නවතලා
රුදුරු වී ඇති අපේ ඉරණම අපිව දෙතැනක රඳවලා

පිරුණු සඳවත දවසෙ මෙහෙයට ගුවන් තලයට ගොඩවෙලා
කෙරුණු ඔච්චම වාවගනු බැහැ හුදෙකලාවම පැතිරිලා
මැරුණු මතකය පණ ලබාගෙන යළි යළිත් සිහි කැඳවලා
තුරුණු හදවත් දවා රිදවයි නහර විනිවිද කළඹලා........

122. කිමද සොඳුරියෙ හඬන්නේ යළි අපිට හිමි වෙනවා අපී....

නදද තවමත් මිහිර දැනෙනව සුවඳවත් මල් ඇත පිපී සඳද සුසුමන් හෙලා බලනව වළා මත්තෙම හැපි හැපී මමද ඔබ හා එකම පැතුමක හිටියෙ කිසිදා නොම කිපී කිමද සො...